දෙණියාය නගරයට සහ පාසල්වලට ජලය සපයන ජල මූලාශ්‍ර අනාරක්ෂිත බවට වාර්තා වී තිබේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ජී.එස්. පණ්ඩිතරත්න මහතා පැවසුවේ, ප්‍රදේශයේ පැතිර යන වෛරස් රෝගය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යොදවා තිබූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මේ බව තහවුරු කළ බවයි.
ඒ අනුව, අදාළ ජල මූලාශ්‍රවලට ක්ලෝරීන් යෙදීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
තවද, පැතිර යන වෛරස් උණ රෝගයට ආසාදිත රෝගීන් 50 දෙනෙකු වාර්තා වී ඇති බවද වෛද්‍ය පණ්ඩිතරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මිනිස් සිරුරේ ආහාර මාර්ගය ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන වෛරස් කාණ්ඩයක් හේතුවෙන් මෙම රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වී ඇති බව කරාපිටිය රෝහලේ සිදුකළ පර්යේෂණවලින් හෙළි වී තිබේ.
අපිරිසිදු ආහාර සහ ජලය භාවිතය මෙයට ප්‍රධාන හේතුව බවට වෛද්‍ය මතය වී ඇත.
මෙම රෝගී තත්ත්වය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස, දෙනියාය ජාතික පාසල, ශාන්ත මැතිව් පාසල, රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශය යන පාසල්වලට අද සහ හෙට (මැයි 11, 12) නිවාඩු ලබා දී ඇත.
නිවාඩු කාලය තුළ පාසල් උපකරණ විෂබීජහරණය කිරීමටත්, පිරිසිදුකම පවත්වා ගැනීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමටත් නියමිතය.




