මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එම සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ, පසුගිය මාස දෙක තුළ ආනයන වියදම් ඩොලර් බිලියන 2කට වඩා ඉහළ ගොස් ඇති බැවින්, විදේශ සංචිත කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙය වාහන ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමක් නොවන බවත්, පුද්ගලික පරිහරණය සඳහා ගෙන්වන වාහන සඳහා මාස 3ක කාලයක් සඳහා පමණක් බදු සංශෝධනයක් ක්‍රියාත්මක කරන බවත්ය.
ඔහු පැවසුවේ, දැනට පවතින 30%ක තීරු බද්දේ 50%ක වැඩිවීමක් පමණක් සිදුකර ඇති අතර, ඒ අනුව වාහන මිල 50%කින් ඉහළ යන බවට පැතිරෙන ප්‍රකාශ “සම්පූර්ණ මිත්‍යාවක්” බවයි. එමඟින් සැබෑ වැඩිවීම වන්නේ 15%ක් පමණක් බවද ඔහු සඳහන් කළා.
“මෙම පියවරෙන් රජය ලබාදෙන පණිවිඩය වන්නේ, පුද්ගලික වාහන ආනයනය හැකි නම් මාස 3ක් පමාවන්න කියන එකයි,” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



