මල්වාන ප්‍රදේශයේ පිහිටි මතභේදාත්මක නිවස සහ ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වීමත් සමඟ, එම පරිශ්‍රයෙන් තම සාමාජිකයන් ඉවත් කර ගැනීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) තීරණය කර තිබේ.
අද (18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරිය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා සඳහන් කළේ, දැනට දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මෙම දේපළ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පැවරීමට රජය එකඟ වූ බවයි. ඒ අනුව, එම පරිශ්‍රයේ රැඳී සිටි සිසුන් වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විශ්වවිද්‍යාල තුළ පවතින ඉඩකඩ හිඟයට පිළියමක් ලෙස, හිමිකරුවන් නොමැති බවට අධිකරණය තීන්දු කළ මෙවැනි රාජසන්තක දේපළ අධ්‍යාපන අවශ්‍යතා සඳහා යොදාගන්නා ලෙස රජයට බල කරමින් පසුගිය 14 වැනිදා සිට ශිෂ්‍ය බලමණ්ඩලය මෙම නිවසට ඇතුළු වී විරෝධතාවක නිරත විය.



