ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පස්වන ස්ථානයට බහුලවම දක්නට ලැබෙන ගැබ්ගෙල පිළිකා තත්ත්වය කලින් හඳුනා ගැනීම සහ රෝගී ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින්, අතිනවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් රජයේ රෝහල් වෙත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 72කට අධික ප්‍රතිපාදන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වෙන් කර ඇති අතර, එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60කි.
අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, මහනුවර, ගම්පහ, මාතර, මොනරාගල, පුත්තලම, හම්බන්තොට සහ ද සොයිසා කාන්තා රෝහල යන ප්‍රධාන රෝහල් තුළ මෙම යන්ත්‍ර මේ වන විටත් ස්ථාපිත කර අවසන්ය.
මීට අමතරව, ඉදිරි මාසය තුළ තවත් යන්ත්‍ර 06ක් අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන රෝහල්වල ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා තවත් රුපියල් මිලියන 42ක් වෙන් කර ඇත.
මෙම නවතම යන්ත්‍ර සමූහයත් සමඟ රජයේ රෝහල් සතු සමස්ත කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ යනු ඇත.
ඇයි මෙම යන්ත්‍ර වැදගත් වන්නේ?
ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙන පරිදි, ගැබ්ගෙල පිළිකා යනු මුල් අවධියේ හඳුනාගතහොත් සාර්ථකව පාලනය කළ හැකි රෝගී තත්ත්වයකි.
මානව පැපිලෝමා (HPV) වයිරසය මගින් බෝ වන මෙම රෝගය හේතුවෙන් වසරකට අලුතින් රෝගීන් 1,200ක් පමණ වාර්තා වන අතර, ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා වසරකට කාන්තාවන් 180ක් පමණ ජීවිතක්ෂයට පත්වේ.
කොල්පොස්කොපි යන්ත්‍රය යනු ගැබ්ගෙල පටකවල ඇති අසාමාන්‍යතා විශාලනය කර සවිස්තරාත්මකව පරීක්ෂා කිරීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන් විසින් භාවිත කරන වෛද්‍ය උපකරණයකි.
මෙමගින් පූර්ව පිළිකා අවධියේදීම රෝගී තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම තුළින් පිළිකාවක් බවට වර්ධනය වීම වැළැක්විය හැකි බව වෛද්‍ය අංශ අවධාරණය කරයි.



