තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ පැවැති රුහුණු වෙසක් මහා පෙරහැරට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළේය.
ඔහු අවධාරණය කළේ, වත්මන් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව විවිධ පාර්ශ්වවල භූ දේශපාලනික කෙළිමඬලක් බවට පත්කිරීමට දරන උත්සාහයන්ට ඉඩදිය නොහැකි බවයි.
රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේගවලට මැදිහත් වීමට ඉඩ නොතබා, ජාතික ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
දැනට පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ ජන ජීවිත පීඩාවට පත්ව ඇති බවත්, එම තත්ත්වයෙන් රට මුදවාගෙන ස්ථාවර ආර්ථිකයක්, සමාජීය සහ සංස්කෘතික ශක්තියක් ගොඩනැගිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.




