මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ සෘජු බලපෑම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7ක මට්ටමක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
පසුගිය (01) දා රාත්‍රියේ විකාශය වූ ‘ටීවී දෙරණ 360’ කාලීන වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
මැදපෙරදිග ගැටුම් කෙටි කලකින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ ද, එය දිග්ගැස්සීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහස් කෙටියෙන්,
මේ වන විට උද්ධමනය 5.4% – 5.5% මට්ටමක පැවතුණ ද, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එය ඉදිරියේදී තවත් වැඩි වීම අනිවාර්ය වේ. පරිභෝජනයේ අඩුවක් සිදුනො වුවහොත් උද්ධමනය 7% දක්වා ඉහළ යා හැකිය.
පවතින අවදානමට පෙර සූදානමක් ලෙස පසුගිය සතියේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුව පියවර ගත්තේය. එමඟින් ඉදිරි මාස තුන තුළ වෙළෙඳපොළ ඉල්ලුම පාලනය කර උද්ධමනය ඉහළ යාම වැළැක්වීමට අපේක්ෂිතය.
මෙරට පවතින මුදල් විශුද්ධිකරණ විරෝධී නීති පද්ධතියට අනුකූලව, නීත්‍යානුකූලව උපයාගත් ඕනෑම මුදලක් බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ද අධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. කෙසේ වෙතත්, නීතිවිරෝධී මුදල් රටට එවීම කළ නොහැකි වනු ඇත.




