‘ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්’ ජාතික වැඩසටහනේ සමාරම්භයට සමගාමීව, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධන කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
මෙම වැඩපිළිවෙළ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුශාරී ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) දින වැලිගම්පල ග්‍රාම නිලධාරී වසමේදී උත්කර්ෂවත් අයුරින් ඇරඹිණි.
මෙම ව්‍යාපෘතිය යටතේ වැලිගම්පල, ලේල්කඳුර අමුණ සහ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රුපියල් ලක්ෂ 25කි.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා දිගින් කිලෝමීටර් 2.5ක් (2.5km) වන ලේල්කඳුර ඇල මාර්ගය සම්පූර්ණයෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා සුදුසු පරිදි සකස් කෙරේ. මෙහි සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ප්‍රදේශයට හිමිවන අතර ඒවා මෙසේය:
- ජල හිඟය හේතුවෙන් පීඩා විඳි කුඹුරු අක්කර 21ක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට මේ හරහා හැකියාව ලැබේ.
- ප්‍රදේශයේ පවුල් හතළිහකට (40) අයත් ගොවි ජනතාවට මෙයින් සෘජු ආර්ථික සහ කෘෂිකාර්මික ප්‍රතිලාභ හිමිවේ.
“දැක්මක් ඇතිව ගොවියා නඟා සිටුවනවා” – තුෂාරි ජයසිංහ
කෘෂිකාර්මික රටක් ලෙස බහුමාන දරිද්‍රතාවයෙන් මිදීමට නම් මූලික වශයෙන්ම සිදු කළ යුත්තේ ගොවි ජනතාව ශක්තිමත් කිරීම බව මන්ත්‍රීනී තුෂාරි ජයසිංහ මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සඳහන් කළාය,
“රජය විසින් රටේ ආර්ථිකය මේ වන විට ස්ථාවර සහ ශක්තිමත් මට්ටමකට ගෙනවිත් තිබෙනවා. ඒ නිසා රජයක් ලෙස ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අප සතුව පවතිනවා. අප කටයුතු කරන්නේ නිසි දැක්මක් ඇතිව ගොවි ජනතාව නඟා සිටුවීමටයි.”
ප්‍රජා ශක්ති ජාතික වැඩපිළිවෙළ යටතේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට පමණක් සුවිශාල මුදලක් වෙන් කර ඇති බව මන්ත්‍රීවරිය අනාවරණය කළාය.
ඒ අනුව එහි ඇති ග්‍රාම නිලධාරී වසම් 29ම ආවරණය වන පරිදි රුපියල් මිලියන 620 ක දැවැන්ත ප්‍රතිපාදන ප්‍රමාණයක් ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.



