ඉදිරි කාලසීමාව තුළ ගෝලීය වශයෙන් ප්‍රබල ලෙස ඇති විය හැකි ‘එල්-නිනෝ’ (El-Niño) දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි අහිතකර බලපෑම් කල්තියා කළමනාකරණය කර ගැනීම සහ ඒ සඳහා වන පූර්ව සූදානම විධිමත් කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම තීරණාත්මක සාකච්ඡාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ඒකාබද්ධ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා අදාළ සියලුම රේඛීය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.
මෙහිදී එල්-නිනෝ සක්‍රිය වීම හේතුවෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයට, බෝග වගාවන්ට සහ දේශීය ආහාර නිෂ්පාදනයට ඇති විය හැකි දැඩි බලපෑම පිළිබඳව නිලධාරීන් විසින් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් අවධානය යොමු කරනු ලැබීය.
විශේෂයෙන්ම ඉදිරියේදී එළඹීමට නියමිත යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය දිවයිනේ ප්‍රධාන ජලාශවල කල්තියා ගබඩා කර ගැනීම (Water Storage Area) සහ ජනතාවගේ අත්‍යවශ්‍ය පානීය ජල අවශ්‍යතාවය හිඟයකින් තොරව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් උපායමාර්ගික පියවර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
ඒ පිළිබඳව අදාළ සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ වෘත්තීයමය අදහස් සහ ප්‍රායෝගික යෝජනා කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙස වෙළෙඳ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී නිලධාරීන්ට ඍජුවම උපදෙස් ලබා දුන්නේය.
එල්-නිනෝ අවදානමට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත සහ ප්‍රායෝගික ක්‍රියාකාරී සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීම සඳහා, ඉදිරියේදී ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ තවත් විශේෂ රැස්වීමක් නැවත කඩිනමින් කැඳවීමට මෙහිදී තීරණය කෙරිණි.
එම රැස්වීම පැවැත්වෙන දිනට තමන් සතු නිල ක්‍රියාකාරී සැලසුම් (Action Plans) අනිවාර්යයෙන්ම රැගෙන එන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රේඛීය ආයතන වෙත අමාත්‍යවරුන් විසින් දැනුම් දෙන ලදී.
මෙහිදී අවසන් වශයෙන් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ, ස්වභාවික ආපදාවන් කිසිසේත්ම කල්තියා නිශ්චිතවම පුරෝකථනය (Forecast) කළ නොහැකි වුවත්, ඇති විය හැකි ඕනෑම හදිසි දේශගුණික තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය මට්ටමින් කල්තියා සැලසුම් සකස් කර තැබීම වත්මන් රජයේ ප්රමුඛ වගකීමක් බවයි.




