ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ මේ වන විට මිලියන 1.1කට (ලක්ෂ 11කට) ආසන්න අතිවිශාල නඩු ප්‍රමාණයක් විභාග වෙමින් පවතින අතර, ඒවා නිසි පරිදි අවසන් වීමට නොහැකිව ගොඩගැසී තිබෙන බව ජාතික ජන බලවේගයේ (NPP) පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, නීතීඥ හිරුනි විජේසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.
අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත “සමථකරණය සහ සිවිල් ආරවුල් පිළිබඳ පනත් කෙටුම්පත” (Mediation and Civil Disputes Bill) සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරවමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුනි විජේසිංහ මහත්මිය පෙන්වා දුන්නේ, ලංකාවේ අධිකරණවල පවතින මෙම අධික නඩු ප්‍රමාණය කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අවශ්‍යතාව සහ ඊට පවතින නීතිමය බාධාවන් පිළිබඳව ඉතා දීර්ඝ කාලයක සිට සමස්ත සමාජය තුළ දැඩි කතාබහක් මෙන්ම විවේචනයක් ලක්වෙමින් පැවති බවයි.
වත්මන් ජාතික ජන බලවේග රජය බලයට පත්ව සිටින්නේ ජනතාව පීඩාවට පත් කර ඇති මෙවැනි බරපතළ සහ සංකීර්ණ ගැටලුවලට සාර්ථක හා ප්‍රායෝගික විකල්ප විසඳුම් සෙවීම සඳහාම බව ද ඇය අවධාරණය කළාය.
නීතිඥවරියක ලෙස අධිකරණ පද්ධතියේ අත්දැකීම් උපුටා දක්වමින් ඇය කියා සිටියේ, සාමාන්‍ය ජනතාව නඩු කටයුතු වෙනුවෙන් වසර ගණනාවක් රීංගමින් කාලය සහ මුදල් නාස්ති කරගන්නා මෙම ක්‍රමය මුළුමනින්ම වෙනස් කළ යුතු බවයි.
තමන් ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව, මෙලෙස ගොඩගැසී පවතින ලක්ෂ සංඛ්‍යාත නඩු කටයුතු කඩිනම් කිරීම සඳහාත්, සමස්ත ලාංකීය අධිකරණ පද්ධතියම (Judicial System) නවීන තාක්ෂණය හා විධිමත් ප්‍රතිසංස්කරණ ඔස්සේ කාර්යක්ෂම කිරීමට රජය මේ වන විට අත්‍යවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් සභාව හමුවේ ප්‍රකාශ කළාය.




