පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතුවලට සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාවලීන්ට විවිධ අයුරින් බාධා කිරීම මෙන්ම බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන මහත්වරුන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (12) විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
“ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය” විසින් අද (12) දින සෘජුවම පොලිස්පතිවරයා (IGP) වෙත මෙම නිල පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජිතයන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් සෙවීම සඳහා දැනට ස්වාධීන ආයතන මඟින් සිදුකරනු ලබන විධිමත් විමර්ශන ක්‍රියාවලිය විකෘති කිරීමටත්, දේශපාලන වාසි තකා මහජනතාව නොමඟ යැවීමටත් විපක්ෂයේ මෙම දේශපාලනඥයන් පිරිස අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.
එමඟින් සමස්ත අධිකරණ පද්ධතියට සහ සාධාරණ පරීක්ෂණ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වන බැවින්, මේ පිළිබඳව වහාම පූර්ණ විමර්ශනයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



