මෙරට ආරක්ෂක අංශවල ඉහළම තලයක සේවය කළ හිටපු බුද්ධි ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මේ වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වය මුල් කරගනිමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ නිල ලිපියක් යොමු කර තිබේ.
‘නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ (Uphold the Rule of Law) යන ප්‍රධාන සිරස්තලයෙන් යුතුව මෙම ලිපිය රාජ්‍ය නායකයා වෙත බාරදීමට ඔවුන් පියවර ගෙන ඇත.
හිටපු මන්ත්‍රීවරුන් සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙත ඇතැම් පාර්ශ්වයන් විසින් ඉතා විසකුරු සහ අසාධාරණ ආකාරයෙන් සලකනු ලබන බවයි.
මේ හේතුවෙන් සමස්ත සමාජය තුළ සහ දේශපාලන කරළියේ මේ වන විට මතුවෙමින් පවතින දැඩි විවේචනාත්මක කතිකාවත සහ ජනතා නොසන්සුන්තාව පදනම් කරගනිමින්, ජනාධිපතිවරයා සතු විධායක බලතල ප්‍රකාරව මෙයට මැදිහත් වන ලෙස ඉල්ලමින් මෙම ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබේ.
විශේෂයෙන්ම, වරදකරුවෙකු වන තෙක් ඕනෑම පුද්ගලයෙකු නිවැරදිකරුවෙකු ලෙස සැලකිය යුතු බවත්, රැඳවුම් භාරයේ පසුවන සැකකරුවෙකුගේ මානව හිමිකම් සහ සෞඛ්‍ය තත්ත්වයන් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බවත් මෙම ලිපිය මඟින් පෙන්වා දී ඇත.
රටේ නීතිය හැමදෙනාටම සමාන විය යුතු පසුබිමක, පළිගැනීමේ චේතනාවෙන් තොරව නීතියේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය වහාම පියවර ගත යුතු බව ද එම හිටපු මන්ත්‍රීවරුන් සිය ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.




