fbpx

සෙනසුරු මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි.

Shii

  • මේෂ

මේෂ ලග්නය හිමි අයගේ අටවැන්නට ශනි මාරුව සිදුවන්නේය. එයින් ඒරාෂ්ඨක අපල කාලයක්‌ උදාවෙන බව සැලකිල්ලට ගත යුතු වේ. ගෘහ ජීවිතය පිළිබඳව විවිධ ගැටලු හා සිත් තැවුල් අතිවීමට කරුණු යෙදේ. මවුපියන්ට තරමක්‌ අපලදායක වේ. පවුලේ වැඩිහිටියකුට මාරක අපල ඇතිවීමට ඉඩ ඇති කාලයකි.

රැකියා හා ව්‍යාපාර

ආදායම් මාර්ග වන ව්‍යාපාර හෝ රැකියා අංශවල ද තරමක බාධා ඇති විය හැකිය. සේවක ගැටලු මතු වේ. කලට වේලාවට සේවකයන්ගේ නොපැමිණීම, සේවක හිඟය ආදී ගැටලු මෙන්ම උසස්‌ අයගේ දෝෂාරෝපණවලට ලක්‌වීමට ද කරුණු යෙදේ. ආදායම් මාර්ගවලට අවහිරතා මතුවිය හැකිය.

අධ්‍යාපනය

ශනි අපලය නිසා අධ්‍යාපන කටයුතු කෙරෙහි දක්‌වන උනන්දුව අඩුවීම, නිදිමත, අලස කම්මැලි ගති මතු වේ. ඉක්‌මනින් අමතක වන ගතියක්‌ හා වැඩ කල්දැමීමේ පුරුද්ද බාධා වශයෙන් පෙනේ. මේ තතත්වය අධිෂ්ඨානය මගින් වලකා ගත යුතු වේ.

සෞඛ්‍ය

උදාවන්නේ ශරීර සෞඛ්‍යය පිළිබඳව විශේෂයෙන් උනන්දු විය යුතු කාලයකි. සෙම් රෝග, මානසික අසහනය මෙන්ම වාතාබාධ ද ඇතිවිය හැකිය. වතුරෙන් ප්‍රවේශම් විය යුතු වේ.

ආදරය හා විවාහය

මෙම කාලය පෙම් සබඳතාවලට ද බාධා පවතින බැවින් කල්පනාකාරී විය යුතු වේ. මෙම වසර දෙක හමාරක්‌ වූ කාලය විවාහයට සුබ කාලයක්‌ නොවේ. අත්‍යවශ්‍යම නම් ඉතා සුබ නැකතක්‌ බලා විවාහ වීම කළ යුතුය. බිරිඳ හෝ සැමියා සමඟ ද අමනාපකම් ඇති වීමට කරුණු යෙදේ.

ඉහත කරුණු සලකා බලන විට කම්කරුවන් යොදවා වැඩ ගැනීම, දේශපාලන කටයුතු, වගකීම් භාර ගැනීම, කළු නිල් වස්‌ත්‍ර භාවිතය, මුදල් පරිපාලනය බොහෝ කල්පනාකාරීව කළ යුතු වේ. ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවා බලා ශනි අපලයට අදාළ ශාන්තිකර්ම කරවා ගැනීම ද ආගමික ජීවිතයක්‌ ගත කිරීම ද මැනවි.

  • වෘෂභ

ගෘහ ජීවිතය

වෘෂභ ලග්න හිමියන්ගේ හත්වන භාවයට ශනි ඇතුළුවන බැවින් ඉදිරි කාලය සුබාසුබ මිශ්‍රඵලදායක කාලයක්‌ වන බව පෙනේ. නිවසේ දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා ඇති වේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවීමට ඉඩ තිබේ. පවුලේ සමගිය රැක ගැනීම කෙරෙහි විශේෂ උනන්දුවක්‌ ඇතිව කටයුතු කළ යුතු කාලයකි.

රැකියාව හා ව්‍යාපාර

රැකියා හා ව්‍යාපාර අංශවලට වෙනදාට වඩා සේවක පක්‍ෂයේ උදව් උපකාර ලැබෙනවා ඇත. හිතවත් අලුත් සේවයකන් ද ලැබේ. නමුත් රැකියා පිළිබඳ නීති ගැටලු ඇතිවීමට ඉඩ ඇති නිසා නඩු හබ ආදී නීතිමය කටයුතුවලට සුබ කාලයක්‌ නොවේ. එහෙත් තරගකරුවන්ගෙන් ජය ගැනීමට ශක්‌තිය ලැබෙනවා ඇත. ගොවිතැන්වලට බාධා පවතී.

අධ්‍යාපනය

මෙම කාලයේ විදහස්‌ ස්‌ථානයේ රාහු ද සමඟ ගමන් කරන බැවින් අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පවතී. උනන්දුව හීන වීම මෙන්ම හිතේ අවුල් හා කැළඹිලි ගති ඇති කරයි. පෙම් සබඳතා නිසා අධ්‍යාපනයට ඇතිවිය හැකි බාධා වළක්‌වා ගැනීමට අධිෂ්ඨාන කර ගන්න.

සෞඛ්‍ය තත්ත්වය

වාතාබාධ මෙන්ම ලිංගාශ්‍රිත රෝග ද ඇති වීමට ඉඩ ඇති කාලයකි. උදරාබාධ ආශ්‍රිත හිසේ අමාරු, ගැස්‌ට්‍රයිටිස්‌ වැනි රෝග ද වළක්‌වා ගැනීමට උනන්දු විය යුතු වේ. මේ අතර තම බිරිඳ හෝ සැමියාට ද සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි කාලයකි.

ආදරය හා විවාහය

විවාහ සහකරු සමඟ අමනාපකම් ඇතිවීමට හා රැකියාව හෝ වෙනත් කරුණක්‌ නිසා වෙන්ව ජීවත් වීමට සිදු විය හැකිය. අවිවාහක අයගේ මංගල යෝජනාවලට බාධා බවතී. අනියම් සබඳතා නිසා චෝදනා අපවාද අසන්නට සිදු විය හැකිය. මේ කාලය තුළ තමන්ගේ මෙන්ම තම විවාහ සහකරුගේ ද කේන්ද්‍ර පරීක්‍ෂාකර බලා අවශ්‍ය ශාන්තිකර්ම කර ගැනීම මැනවි.

  • මිථුන

ගෘහ ජීවිතය

ඔබේ ලග්නයේ ශනි මාරුව සිදුවන්නේ හයවැන්නට වීම සුබපලදායක වේ. පසුගිය දිනවල පැවැති ගෘහ ජීවිතයේ ගැටලුවලට විසඳුම් ලැබේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. උත්සාහයේ තරමට ම ප්‍රතිඵල ලැබිය හැකි වේ. සතුරු කරදරවලින් ජය ලැබිය හැකි වේ. තමන්ගේ නම කැපී පෙනෙන ලෙස ක්‍රියා කළ හැකි කාලයක්‌ වනවා ඇත.

රැකියාව හා ව්‍යාපාර

ව්‍යාපාර දියුණුව ඇති වේ. සේවක ප්‍රශ්න විසඳේ. ව්‍යාපාර දියුණුවට අවශ්‍ය බැංකු ණය පහසුකම් ලබා ගත හැකි වේ. ධන ලාභ ලැබෙන අතර නිශ්චල දේපළවල දියුණුවට ද කටයුතු යෙදේ. ලබා ගෙන තිබු ණය මුදල් නිදහස්‌ කර ගැනීමට ද හැකි වේ. ව්‍යාපාරවලින් ලැබෙන ලාභ ඉහළ යයි.

අධ්‍යාපනය

පසුගිය වසර දෙකේ දී තිබූ බාධා ඉවත් වී අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යැමට කරුණු යෙදේ. ඉගෙනීමට තිබූ උනන්දුව ඉහළ යයි. මතක ශක්‌තිය වැඩි වේ. ධෛර්යවත්ව අධ්‍යාපන කටයුතු කළ හැකි වේ. ගණිත, ඉංජිනේරු හා කෘෂිකර්ම අංශවල ඉගෙනීම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබපල ලැබේ.

සෞඛ්‍ය

පසුගිය කාලයේ තිබූ උදරාබාධයකින් සුවය ලැබේ. අසනීප වලින් මිදීමට අවශ්‍ය ප්‍රතිකාර හා වෛද්‍යවරුන් මුණ ගැසෙනු ඇත. මානසික සෞඛ්‍ය තත්ත්ව ද යහපත් වේ. හිතේ සතුට ඇති වේ.

ආදරය හා විවාහය

විවාහ සහකරුට සුබපලදායකයි. මේ අතර විරුද්ධ ලිංගික පාර්ශ්වයේ ඇසුර වැඩි වේ. මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගත වේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක්‌ ලැබෙනු ඇත. මංගල යෝජනා ස්‌ථිර වේ. පෙම්වතුන්ට සුබපලදායකයි. අවිවාහක අයගේ විවාහ මංගල උත්සව ලබන වසර මුලදී සිදු කිරීම සුදුසුය. බිරිඳ හෝ සැමියා නිසා දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීමට ද හැකි වේ.

ඔබේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීම සඳහා සුබ කටයුතු ආරම්භ කිරීමට සුදුසු නැකත් ශනි වෘශ්චිකයේ ගමන් කරන කාලය තුළ උදාවන්නේ ය.

  • කටක

ගෘහජීවිතය

පස්‌වැන්නට ශනි මාරුවීම තරමක්‌ අපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය පිළිබඳව සලකන විට ගෙවල් ඉඩම් පිළිබඳ කටයුතුවලට තිබූ බාධා ඉවත් විය හැකි නමුත් දරුවන් හා ශිෂ්‍යයන් පිළිබඳ ගැටලු ඇති වේ. දරුවකුගේ මුරණ්‌ඩුකම නිසා සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. සමහර විට දරු උපත් පිළිබඳ ගැටලු ඇති විය හැකිය. වාසනාවන්ත දරුවන් ලබා ගැනීම උදෙසා සුදුසු ශාන්තිකර්ම අවශ්‍ය වේ. වැඩිමහල් සහෝදරයකුට අපලදායක වේ.

රැකියා හා ව්‍යාපාර

ලාභ බලාපොරොත්තුවෙන් මුදල් ආයෝජනය කිරීමට සුදුසු නොවේ. එවැනි කටයුතුවලදී බොහෝ දුරදිග බලා කටයුතු කළ යුතු වේ. මුදල් ඔට්‌ටු ඇල්ලීම, රේස්‌ සූදුවලින් පරාජයට පත්වීමට සිදුව මුදල් විනාශ වී යා හැකිය. ආදායම් මාර්ගවලට ද බාධා පවතී. මේ අතර තැන්පත් මුදල් වැය වීමට ද කරුණු යෙදේ.

අධ්‍යාපනය

කටක ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තරමක්‌ බාධා සහිත වේ. උනන්දුව හීන වී යා හැකිය. එහෙත් ඉංජිනේරු, කෘෂිකර්ම වැනි අධ්‍යාපන අංශවල යෙදෙන අයට හා විද්‍යාත්මක පර්යේෂණවල යෙදෙන අයට තම කටයුතු සාර්ථක කරගත හැකි වේ. අලුත් අධ්‍යාපන පාඨමාලා ආරම්භයට සෙනසුරාදා දිනය ශුභ නැත.

සෞඛ්‍යය

මේ කාලය තුළ බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වීමට උදාරාබාධ හේතු වෙනවා ඇත. බඩ පිපුම, අජීර්ණ ආබාධ, ගර්භාෂය ආශ්‍රිත රෝග ඇති විය හැකිය. එමෙන්ම වාතාබාධ වලට ද හේතුයි.

ආදරය හා විවාහය

මෙම කාලය ආදර බන්ධන නිසා නොයෙක්‌ සිත් තැවුල් ඇතිවිය හැකිය. ආදරය කළ කෙනෙකුගෙන් වෙන් වීමට ද සිදුවිය හැකිය. විවාහ මංගල යෝජනාවලට ද බාධා බවතී. නොගැලපෙන සබඳතාවන් නිසා නින්දා අපවාද ඇති වීමට ද පුළුවනි. බිරිඳ හෝ සැමියාට තරමක්‌ අපලයි. තමන්ට වඩා වයසින් වැඩි අය හෝ විවාහයට නොගැලපෙන පහත් අය සමඟ පෙම් සබඳතා ඇති විය හැකිය.

කටක ලග්න හිමියන් ද කේන්ද්‍ර පරීක්‍ෂා කර ශාන්තිකර්ම කර ගැනීම අවශ්‍ය කාලයකි.

  • සිංහ

ගෘහ ජීවිතය

ඔබේ කේන්ද්‍රයේ හතරවැන්නාට සෙනසුරු ගේ පැමිණීම පදිංචිය පිළිබඳව ගැටලු ගෘහ ජීවිතය ආශ්‍රිත සිත් තැවුල් ඇති වීමට හේතු විය හැකිය. කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට එම කටයුතු වලට බාධා පැමිණේ. පවුලේ වැඩිහිටියකුට හෝ මව්පියන්ට අපලයි. නිතර නිතර ප්‍රයෝජනයක්‌ නැති ගමන් බිමන් ගොස්‌ වෙහෙස වීමට සිදු වේ. ගෘහ නිර්මාණ කටයුතුවලට බාධා පවතී. මවට අපලදායකයි. නිතර චිත්ත පීඩා ඇති වන්නට කරුණු යෙදේ ඉඩමක්‌ පිළිබඳ නඩුවක්‌ පැටලීමට ඉඩ ඇත. දේපළ වලට සතුරු කරදර මතු වේ.

රැකියාව හා ව්‍යාපාර

ගෘහාශ්‍රිත කර්මාන්ත හෝ ගොවිතැන් කටයුතු කරන අයට සේවක ගැටලු ඇති විය හැකිය. කෘෂිඋපකරණ, පලිබෝධ නාශක නිසා ගොවිතැන්වලින් අලාභ හානි සිදු වේ. ගෙදර නිතරම පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කළ ද එය අපහසු වේ. රහස්‌ සතුරු කරදා සේවක ප්‍රශ්න ඇතිවන බව පෙනේ. වෙළෙඳ ව්‍යාපාරවලින් අපේක්‍ෂිත ලාභ නොලැබිය හැකිය.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව පහල යැමට ඉඩ ඇත. මේ නිසා එම කටයුතු ධෛර්යය සම්පන්නව කරගෙන යැම අවශ්‍ය වේ. ගෙදර දොර පරිසරයේ නොගැලපීම නිසා ද මව්පියන්ගේ අසනීපාදී කරදර නිසා ද අධ්‍යාපනයට හිත යොමු කර ගැනීම අපහසු විය හැකිය.

සෞඛ්‍යය

පපුවේ සෙම් රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. ප්‍රතිෂ්‍යාව ඇදුම වැනි රෝග ඉක්‌මනින් වැළඳේ. මානසික තත්ත්වයේද පහත වැටීමක්‌ ඇති විය හැකිය. වාතාබාධ වැළඳීමට ඉඩ තිබේ.

ආදරය හා විවාහය

මේ කාලය තුළ අවිවාහක අයට මංගල යෝජනා ලැබීමට ඉඩ තිබේ. එහෙත් ඒවා ගැන ස්‌ථිර තීරණ ගැනීමට පෙර බොහෝ දුරට සොයා බැලීම අවශ්‍ය වේ. බිරිඳ හෝ සැමියාට අසනීප කරදර ඇතිවීමට ද ඉඩ තිබේ. අවිවාහක අයගේ විවාහ මංගල උත්සව ගැනීමට සුදුසු වනුයේ ලබන වසර අග වන විටයි. පෙම්වතා හෝ පෙම්වතිය අමනාප වීමට ඉඩ තිබේ.

සිංහ ලග්න හිමියන් මව හා පියාගේ කේන්ද්‍ර පරීක්‍ෂා කර බලා අවශ්‍ය ශාන්තිකර්ම කර ගැනීමට උනන්දුවීම ද වැදගත් ය.

  • කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ට සෙනසුරු මාරුව සුබපලදායක වේ. ගත වූ කාලයේ තිබූ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබේ. අසල්වාසීන් සමඟ සුහදතාව වර්ධනය වේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබේ. භූමි ලාභ ලැබෙන කාලයකි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. විරුද්ධ ලිංගික පාර්ශ්වයේ ඇසුරු වැඩියෙන් ලැබේ. කීර්තිය වැඩි වේ. අන් අයගේ ප්‍රසංශා ලැබෙනු ඇත. ඉඩම් ගෙවල් ලැබෙන කාලයකි.

රැකියාව හා ව්‍යාපාර

භූමි ලාභ ඇති බැවින් කෘෂිකාර්මික අංශයට අදාළ රැකියා හා ව්‍යාපාරවලින් විශේෂ ලාභ ලැබේ. මැණික්‌, මිනිරන් වැනි ඛනිජ වර්ග පිළිබඳ රැකියා කරන අයටද, ඉන්ධන සම්බන්ධ රැකියා කරන අයට ද සුබපලදායකයි. කෙසේ නමුත් ආදායම් මාර්ග සතුටුදායක වේ. රැකියා හා ව්‍යාපාරවලට උසස්‌ අයගේ ආධාර උපකාර ද ලැබෙනවා ඇත. විදේශ රැකියා කරන අයට ද සුබය.

අධ්‍යාපනය

කන්‍යා ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි වේ. විද්‍යා, ඉංජිනේරු, ගණිත අංශ විශේෂයි. අධ්‍යාපනයට ඇති උනන්දුව ඉහළ යනවා ඇත. විභාග වලින් සමාර්ථ වේ.

සෞඛ්‍යය

අසනීප යටපත් වන අයුරින් මානසික ශක්‌තිය ද ශරීරයේ ප්‍රතිශක්‌තිය ද ඉහළ යනු ඇත. තිබූ අසනීපවලින් සුවය ලැබේ. නමුත් සහෝදරයකුට අසනීපයක්‌ වැළඳෙනවා ඇත.

ආදරය හා විවාහය

ආදර සබඳතාවලට තිබූ බාධා ඉවත් වේ. මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථිර වීමට කරුණු යෙදේ. ආදරය විවාහය පිළිබඳ නිර්මාණාත්මක ලේඛනයට ද සුදුසු කාලයකි. බිරිඳ හෝ සැමියට ද සුබපලදායකයි. නව නිවසක්‌ සාදාගෙන යැමට බලාපොරොත්තු වූ අයට එම බලාපොරොත්=ව ඉටුකර ගත හැකි වේ. විවාහ මංගල උත්සව සඳහා වඩාත් සුදුසු වන්නේ 2015 වසරේ මුල් කාලය වනු ඇත. 2015 අග වන විට බිරිඳ හෝ සැමියාට තරමක්‌ අපලයි.

කන්‍යා ලග්න හිමි අයට අලුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසු සුබලපදායක කාලයක්‌ උදාවන්නේය.

  • තුලා

ගෘහ ජීවිතය

තුලා ලග්න හිමියන්ට ශනි මාරුව තරමක සුබපල දායක තත්ත්වයක්‌ උදා කරයි. ගත වූ ලග්න ඒරාශ්ටක අපල කාලය නිම වීමට පටන් ගනී. එහෙත් සම්පූර්ණයෙන් ම අපල නිමා වනවා නොවේ. නිවාස ඉදිකිරීම් කටයුතුවල පෙර තිබූ කරදර බාධක බොහෝ දුරට ඉවත් වනවා ඇත. මේ අතර කෘෂිකාර්මික කටයුතු හා ඉඩකඩම්වල වැඩවලට තරමක සුබදායක බවක්‌ උදාකරනු ඇත. සේවක සහයෝගය වෙනදාට වඩා ලැබෙනු ඇත. මේ අතර දරුවන්ට තරමක්‌ අපලදායක වන අතර දරුවන් වෙනුවෙන් තැන්පත් මුදලක්‌ වැය කිරීමට ද සිදු වේ. තත්ත්වය රැක ගැනීම උදෙසා ද තැන්පත් මුදල් වැය වනු ඇත. වියදම් පාලනය කර ගත යුතු කාලයකි.

රැකියාව හා ව්‍යාපාර

මුදල් ආයෝජනය කර ලාභ ලබා ගැනීම පහසු නොවේ. ලොතරැයි හා රේස්‌ සූදු ආදියට මුදල් යෙදවීම නිසා ධන හානි ඇති විය හැකිය. රැකියා අංශවල පෙරට වඩා සේවක සහයෝගය ලැබේ. එහෙත් ව්‍යාපාර කරගෙන යන අය ධනය ආරක්‍ෂා කර ගැනීමට වගබලා ගත යුතුය. තමා සතු වටිනා දෙයක්‌ සොරු ගැනීමට ද ඉඩ ඇත.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලදී මතක තබාගැනීමේ ශක්‌තිය අඩු විය හැකි අතර ගෙදර පරිසරය ඉගෙනීමට බාධා ඇති කරන බවක්‌ පෙනේ. අලස බව දැනෙන නමුදු එය දුරුකර උත්සාහය ඇති කර ගත යුතු වේ.

සෞඛ්‍යය

දත්මුල් දිය වීම, මුඛ රෝග. මුහුණේ ලප කැලැල් ඇති වීම මුහුණේ කළු තිත් වැටීම වැනි ආබාධ විශේෂයි.

ආදරය හා විවාහය

විරුද්ධ ලිංගික පාර්ශ්වයන් සමඟÊකරන ගනුදෙනුවලදී කල්පනාකාරී වන්න. එමගින් කෝලාහලවලට මැදිවිය හැකි බැවිනි. බිරිඳ හෝ සැමියාට ද තරමක්‌ අපලයි. විවාහ මංගල යෝජනා පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බොහෝÊදුරදිග බලා කටයුතු කළ යුතු වේ.

තුලා ලග්න හිමියන් තම ඒරාෂ්ටක අපල කාලයේදී පසුගිය දිනවල කරන ලද ශාන්තිකර්ම දිගටම කරගැනීම යහපත් ය.

  • වෘශ්චික

ගෘහ ජීවිතය

මෙතෙක්‌ දොළොස්‌වැන්නේ ගමන් කළ සෙනසුරු ලග්න භාවයට පැමිණීම ලග්න ඒරාෂ්ටකය උදාකරයි. මේ නිසා ගෘහ ජීවිතය තුළ සිත් තැවුල් ඇතිවීමට ඉඩ සලසයි. රැකියා අංශවල උසස්‌ අයගෙන් දොaෂාරෝපණ අසන්නට සිදුවිය හැකිය. පියාටද අපලදායක කාලයකි. ආශ්‍රයේදී ප්‍රවේශම් විය යුතුය. උත්සාහයේ තරමට ප්‍රතිඵල නැතැයි සිතේ. මවුපියන් පිළිබඳව වැඩි සැලකිල්ල යොමු වේ. චිත්ත ධෛර්යය ඉහළ යයි.

රැකියා හා ව්‍යාපාර

තම තනතුරට වඩා පහළ සේවක පක්‍ෂයෙන් කරදර ඇතිවන කාලයකි. සේවක ගැටලු ඇති විය හැකිය. උසස්‌ අය තමා සමඟ අමනාප වන්නේ ද පහළ සේවකයන්ගේ කේලාම් බස්‌ නිසාය. එහෙත් මේ කාලයේ සේවක පක්‍ෂයට හැකි තරම් උදව් උපකාර කළ යුතු වේ. මුදල් ආයෝජනය කර නව ව්‍යාපාර ආරම්භය ද සුබ නොවේ.

අධ්‍යාපනය

හිතේ කරදර, මවුපියන්ගේ ගැටලු ආදිය නිසා අධ්‍යාපනයට බාධා ඇති විය හැකි අතර උදාසීන බව, කළ යුතු වැඩ කල් දැමීම, ප්‍රතික්‍ෂේප කිරීම, පසුව කරන්නට තීරණය කිරීම වැනි බාධා නිසා අධ්‍යාපනයට අදාළ ඉලක්‌ක වෙත ළඟාවීම අපහසු විය හැක.

සෞඛ්‍යය

සෙම් රෝග විශේෂයි. රාත්‍රියට සවසට නෑම, පිණිබෑම, රාත්‍රි ගමන්, ජල ක්‍රීඩා නිසා සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකිය. මේ අතර හදිසි අනතුරුවලින් ද ප්‍රවේශම් විය යුතු වේ.

ආදාරය හා විවාහය

විවාහය පිළිබඳ උත්සවවලට වඩාත් සුදුසු වන්නේ 2015 මුල් කාලය වන අතර විවාහ පිළිබඳ තීරණ ගැනීමට පෙර පොරොන්දම් පරීක්‍ෂා කර බලා හොඳින් සෑහීමකට පත් විය යුතු වේ. නොගැලපෙන විවාහ සිදුවිය හැකි කාලයකි. බිරිඳ හෝ සැමියාට ද තරමක්‌ අපලයි.

වෘශ්චික ලග්නය හිමි අයට ලග්න ඒරාෂ්ටක අපලයක්‌ උදාවන නිසා තමන්ගේ මෙන්ම විවාහ සහකරුගේ ද කේන්ද්‍ර පරීක්‍ෂාකර බලා අවශ්‍ය ග්‍රහ ශාන්තිකර්ම කර ගැනීම ද පවුලේ සමගිය ආරක්‍ෂා කර ගැනීම ද ආගමික ජීවිතයක්‌ ගත කිරීම ද මැනවි.

  • ධනු

ගෘහ ජීවිතය

ධනු ලග්න හිමියන්ට ශනි දොළොස්‌වැන්නට යැම එතරම් සුබ නොවේ. දැඩි අවිවේකී කාලයක්‌ උදා වේ. මේ අතර තැන්පත් ධනය වැය වන තරමට වියදම් ඉහළ යයි. ගෘහ ජීවිතය කරදර සහිත බවක්‌ පෙන්වයි. දරු ශිෂ්‍යයන්ට ද විපත්තිදායකයි. ධනු ලග්න හිමියන් විවාහය ආදී විශේෂ සුබ කටයුතු ආරම්භ කළ යුත්තේ 2015 මැයි වලින් පසුවය. එතෙක්‌ අපලදායකයි.

රැකියා හා ව්‍යාපාර

රැකියා හා ව්‍යාපාරවල වියදම් පක්‍ෂය ඉහළ යනු ඇත. විදේශ රැකියාවල යෙදෙන අයට ද බාධා පවතින අතර, විදේශ

රැකියා අපේක්‍ෂාවෙන් මුදල් නාස්‌තිකර නොගැනීමට කල්පනාකාරී විය යුතුය. සේවකයන් නිසා පාඩු සිදුවේ. සමහර හිතවත් සේවකයන් ඉවත්ව යනවා ඇත. මුදල් ආයෝජනය කළ පසුව නොසිතූ බාධා ඇති වේ. තැන්පත් ධනය ව්‍යාපාරවලට ආයෝජනය නොකළ යුතු වේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට තිබූ උනන්දුව ද අඩු වී යා හැක. විභාග වලින් සමර්ථ වීමට උත්සාහය දැඩි කර ගත යුතු වේ. මෙහිදී ශනිට හිමි කම්මැලිකම ප්‍රතික්‍ෂේප කිරීම, කල් දැමීම, උදාසීන බව වැනි බාධාවන් ජය ගැනීමට උනන්දු විය යුතු වේ. ගෙදර පරිසරය ද මෙයට බලපානවා ඇත.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය ගැන බෙහෙවින් උනන්දු විය යුතු වේ. ඔබේ ලග්නයෙහි ගුරු ද අටවැන්නේ ගමන් කරන නිසා කොලෙස්‌ටරෝල්, දියවැඩියාව හා වාතාබාධ වලින් ආරක්‍ෂා විය යුතු වේ. 2015 මැද දක්‌වා විශේෂයෙන් සෞඛ්‍ය රැක ගන්න.

ආදරය හා විවාහය

බිරිඳ හෝ සැමියාට ද අපලදායක වන අතර ආදර සම්බන්ධතා ද කැඩී යැමට ඉඩ තිබේ. විවාහය ගැන ස්‌ථිර තීරණයක්‌ ගන්නා තුරු පෙම් සබඳතා සීමා සහිතව පැවැත්වීම අවශ්‍ය වේ. නමුත් අත්‍යාවශ්‍ය නම් 2015 මැයි වලින් පසුව විවාහ මංගල උත්සව සඳහා ඉතා සුබ නැකත් සාදාගත යුතුව ඇත.

ධනු ලග්න හිමි අයට සෙනසුරු මාරුව සුබ නොවේ. මේ නිසා කේන්ද්‍රය පරීක්‍ෂා කර ග්‍රහ ශාන්ති කර ගැනීමට ක්‍රියා කිරීම ද සෞඛ්‍ය රැක ගැනීමට උනන්දු වීම ද අත්‍යාවශ්‍ය වේ.

  • මකර

ගෘහ ජීවිතය

ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු මාරුව සිදුවන්නේ එකොළොස්‌වැන්නට වීම සුබදායක වේ. පසුගිය කාලයට වඩා සහනදායක බවක්‌ ඇති වේ. අලුත් හිතමිතුරන් හඳුනාගැනීමට අවස්‌ථාව උදා වේ. වැඩිමහල් සහෝදරයකුට සුබපලදායකයි. ගෘහ ජීවිතය සතුටුදායක වේ. අලුතින් නිවසක්‌ ඉදිකර ගැනීමට සුදුසු සුබ නැකත් යෙදේ. උසස්‌ අයගේ ඇසුර ලැබේ. උසස්‌ වැඩිහිටි අයගේ ආධාර උපකාර ලැබේ. තත්ත්වය ස්‌ථාවර වනු ඇත.

රැකියාව හා ව්‍යාපාර

ආදායම් සතුටුදායක වේ. රැකියා අංශවල උසස්‌වීම් ලැබීමට හේතුයි. වැටුප් වර්ධනය වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. බිරිඳ හෝ සැමියා නිසාද දියුණුවට කරුණු යෙදේ. හවුල් ව්‍යාපාර ආරම්භයට සුබයි. මේ අතර සේවක පක්‍ෂයේ සහයෝගය ද වැඩි වේ. අලුත් හිතවත් සේවකයන් ලැබේ.

අධ්‍යාපනය

ගණිතය, සිවිල් ඉංජිනේරු නව නිර්මාණ විද්‍යා අංශවල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබපල ලැබේ. ගෘහ නිර්මාණ ශිල්පය, සැලසුම් ශිල්පය ඉගෙනුම ලබන අයට ද විශේෂ සුබපල ලැබේ. කුමන අන්දමේ අධ්‍යාපනයක යෙදුනද පෙරට වඩා සුබපලදායක බවක්‌ පෙන්වයි.

සෞඛ්‍ය

තිබූ අසනීපවලින් සුවය ලැබෙනවා ඇත. ශරීර සනීපය ඇතිවන කාලයකි. නමුත් 2015 අග වන විට ගුරු මාරුව සිදු වූ පසුව ශරීර සනීපය පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වේ.

ආදරය හා විවාහය

පවුල් ජීවිතය වාසනාවන්ත වනවා ඇත. අලුත් දරුවන් අපේක්‍ෂාවෙන් සිටින අයට දරු ලාභ ලැබේ. බිරිඳ හෝ සැමියාගේ ද රැකියා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා ඇත. පෙම් සබඳතා හෝ විවාහ යෝජනා ස්‌ථිර වීමට කරුණු යෙදේ. ප්‍රමාද වූ විවාහ සිදු වේ.

මකර ලග්න හිමි අයට සෙනසුරු මාරුව සුබපලදායක වන බැවින් බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට සුබ නැකත් අනුව කටයුතු කරන්නට සුදුසුම කාලයකි. 2015 මුල් මාස 6 දක්‌වා වඩාත් සුබපලදායක වේ.

  • කුම්භ

ගෘහ ජීවිතය

කුම්භ ලග්න හිමි අයට සෙනසුරු මාරුව සිදුවන්නේ කේන්ද්‍රයේ දස වැන්නටය. මේ සුබාසුබ මිශ්‍ර කාලයක්‌ වනවා ඇත. රැකියා අංශවල තම බලය වර්ධනය වන අතර පසුගිය කාලයට වඩා තරමක්‌ සුබපල ඇති වේ. ධෛර්යවන්තව කටයුතු කළ හැකි වේ. ත්‍රිවිධ හමුදා පොලිස්‌ ආදී ස්‌ථානවල

රැකියා අංශවල සුබපල දේ. නිවාස ඉදිකිරීම් කටයුතුවලට තරමක බාධා පවතී. කාර්ය බහුල වැඩ අධික කාලයක්‌ වනවා ඇත. දරුවන්ට තරමක්‌ අපලදායකයි.

රැකියා හා ව්‍යාපාර

රැකියා අංශවල තනතුරු උසස්‌වීම්වලට බාධා ඇති විය හැකිය. උසස්‌ අය සමඟ කටයුතු කරන විට ප්‍රවේශම් විය යුතුය. දොස්‌ ඇසීමට වැරදීම්වලට ඉඩ තිබේ. විදේශ රැකියා පිළිබඳව සුබදායක වේ. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කර ගත හැකි වේ. ව්‍යාපාර මිශ්‍රඵලදායකයි.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව ඉහළ යනු ඇත. වෘත්තීය අධ්‍යාපනයක්‌ ලැබීමට සුබ කාලයකි.

රැකියා දියුණුවීම අදාළ අධ්‍යාපනයන් සඳහා යොමු විය හැකිය.

සෞඛ්‍ය

සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ සැලකිල්ල යොමු වීම අවශ්‍ය වේ. විශේෂයෙන් අත්වල හා දණහිස්‌වල ආබාධ ඇති වීමට ඉඩ තිබේ. ආතරයිටිස්‌a (ප්‍රමේහ) රෝග ඇති අය විශේෂයෙන් සැලකිලිමත් වියයුතු වේ.

ආදරය හා විවාහය

බිරිඳ හෝ සැමියාට තරමක්‌ අපලයි. මේ නිසා විවාහ සහකරුගේ ද කේන්ද්‍ර පරීක්‍ෂා කර බලා අවශ්‍ය ශාන්ති කර්ම කර ගැනීම මැනවි. පෙම් සබඳතා හෝ විවාහ යෝජනා සමපලදායක වේ. අවිවාහක අයට විවාහ මංගල උත්සව පැවැත්වීමට වඩාත් සුදුසු වන්නේ 2015 ජූලි වලින් පසුවය.

කුම්භ ලග්න හිමියන්
රැකියා අංශවලදී වඩාත් ප්‍රවේශම් විය යුතු අතර විවාහ සහකරුගේ කේන්ද්‍ර පලාපල ද බලා අවශ්‍ය ශාන්තිකර්ම කර ගැනීම මැනවි.

  • මීන

ගෘහ ජීවිතය

මීන ලග්න හිමියන් ගත කළේ සෙනසුරුගේ අෂ්ඨම ඒරාෂ්ටක අපල කාලයයි. මේ නිසා කේන්ද්‍රයේ නමවැන්නට ශනි මාරුවීම සුබපල උදා කරයි. එහෙත් ක්‍රම ක්‍රමයෙනි. ආගම දහමට හිත යොමු වේ. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටු වේ. රැකියා අංශවල තිබූ බාධාවන් ද බොහෝ දුරට අඩු වී යනවා ඇත. අලුත් මිතුරු මිතුරියන් හඳුනාගැනීමට අවස්‌ථා උදා වේ. ගෘහ ජීවිතය සුබ අතට හැරෙනවා ඇත.

රැකියාව හා ව්‍යාපාර

හිතවත් අයගේ උපකාර මත පෙරට වඩා රැකියා හා ව්‍යාපාර අංශවල සාර්ථකත්වයන් අපේක්‍ෂා කළ හැකි වේ. ලාභාංශ ඉහළ යයි. සේවක සහයෝගය පෙරට වඩා ලැබේ. රැකියා ප්‍රධානීන්ගේ පිළිගැනීම ද දැනට වඩා ඉහළ යනවා ඇත. විදේශ රැකියා අපේක්‍ෂාවන් සාර්ථක කරගැනීමට කරුණු යෙදේ.

අධ්‍යාපනය

අධ්‍යාපන අංශවල ද ප්‍රගතියක්‌ අපේක්‍ෂා කළ හැකි වේ. කම්මැලි උදාසීන ගති අඩු වේ. අධ්‍යාපනයට තිබූ සෞඛ්‍ය ගැටලු බාධා අඩු වේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වනවා ඇත. ගණිත, ඉංජිනේරු විද්‍යා, පර්යේෂණ අංශවල අධ්‍යාපනය ලබන අයට විශේෂ සුබපල ලැබේ.

සෞඛ්‍ය

පසුගිය කාලයේ තිබූ අසනීපවලින් සුවය ලැබෙන නමුදු තවදුරටත් ශරීර සෞඛ්‍යය පිළිබඳව අවධානය තබා ගැනීම අවශ්‍ය වේ. දෙවි දෝෂ ඇති විය හැකිය. දෙවියන්ගේ භාරහාර නිදහස්‌ කරන්න.

ආදරය හා විවාහය

2015 ජූලිවලට පෙර අවිවාහක අයට මංගල යෝග යෙදේ. ආදර සබඳතා ස්‌ථිර වේ. විවාහ මංගල උත්සව ද ජූලි වලට පෙර පැවැත්වීම සුදුසුය. බිරිඳ හෝ සැමියාට මිශ්‍රඵලදායක කාලයක්‌ වනවා ඇත.

මීන ලග්න හිමියන්ට කිව යුත්තේ පසුගිය අපල කාලය ක්‍රම ක්‍රමයෙන් ඉවත්වන අතර එහෙත් තවදුරටත් ශනිට අදාළ ග්‍රහ ශාන්තිකර්මවල යෙදීම සුදුසු බවයි.

ඉහත දක්‌වන ලද්දේ ශනි මාරුව උපන් ලග්න අනුව ප්‍රතිඵල ලබන ආකාරයයි. උපතේදී සඳුගේ පිහිටීම අනුව මෙම සුබාසුබ අඩු වැඩි වනවා ඇත. විශේෂයෙන් සඳු වෘශ්චික රාශියේ තැන්පත්ව සිටි අයට අපල වැඩිවනවා ඇත. ඒ අයත් සඳු, තුලා හා ධනු රාශිවල තැන්පත් අයටත් සඳු මේෂ රාශියේ තැන්පත් අයටත් අපල තරමක්‌ අධිකව බලපානු ඇත.

උපන් නැකත් අනුව අස්‌විද, බෙරණ, අනුර, දෙට යන අයට තරමක්‌ අධික ලෙස සිත, සා, විසා යන නැකත් වල උපන් අයට මධ්‍යස්‌ථව ද බලපායි.

බුද්ධ පූජා. බෝධි පූජා තබා ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම, කපුටු දානය, යාචක දාන දීම, කළු නිල් ඇඳුම් පැළඳුම් අත්හැරීම, නව ග්‍රහ මණ්‌ඩල නවනාථ. ශනි මෘතුංජය, අභිසම්භිදාන යන්ත්‍ර පැළඳීම ආදිය මගින් ශනි අපල මඟ හැරේ

ශනි අපලයේදී ජල ක්‍රීඩා, නිදි වැරීම, දේශපාලනය, කම්කරු පාලනය, සුරා සූදු, දුරාචාර, මුදල් ආයෝජනය වගකීම් දැරීම සුබ නොවන බව ද සැලකිය යුතු වේ.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත් – දිවයින පුවත්පත 

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න….


Leave a Reply