spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

චිකිත්සකවරිය සිරුර පුළුස්සා සඟවන්නත් උත්සාහ කරලා…

කැනඩාවට යාමට පිටත් වෙනවා කියා සිරුර පුළුස්සා සියල්ල සඟවන්නත් උත්සාහ කරලා…

නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක් තුළ දී අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක වූ රත්නායක පතිරණගේ ශ්‍යාමා දර්ශනී ඝාතනය කර මෝටර් රථයකින් ඇයගේ සිරුර කුණ්ඩසාලේ ප්‍රදේශයට ගෙන ඒමෙන් අනතුරුව එය පුළුස්සා විනාශ කර දැමීමට හොර මෘදුකාංග ඉංජිනේරුවරයා සැලසුම් කර තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මිනීමැරුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රියදුරකු වශයෙන් සේවය කරන පුද්ගලයා සමග එක්වී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි එම ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන ආදාහනාගාරයට ගෙනවිත් මරණකාරියගේ සිරුර පුලුස්සා දැමීමට සැලසුම් කර තිබුණත් අවසන් මොහොතේ එය වැළකී ගොස් ඇත.

තෙල්දෙණිය රෝහල් පරිශ්‍රයේ පිහිටි රථගාලට සිරුර සහිත මෝටර් රථය ගෙනැවිත් දමාගොස් තිබුණේ එම සැලැස්ම ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ නිසාය. දර්ශනී ගේ වැඩිමල් සහෝදරයාගේ ලුණුගම්වෙහෙර නිවසෙහි පදිංචිව සිටින සහෝදරියට ඝාතකයා දුරකථනයෙන් කතාකර දර්ශනී සමග කැනඩාවට යාමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටින බවට ඇමතුමක් ලබාදුන්නේ, සිරුර පුළුස්සා දමා මරණය සදාකාලික රහසක් වශයෙන් තබා ගැනීමේ අරමුණ ඇතිවය.

දෙදෙනාම කැනඩාවට ගොස් ඇති බව පවුලේ අයට ඒත්තු ගැන්වීමට ඝාතකයා උත්සාහ කර තිබෙන බව මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන නුවරඑළිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට

පෙනී ගොස් ඇත.

මේ අතර ඝාතකයා සහ ඔහුගේ අනියම් බිරිඳ බවට පැවසෙන කාන්තාවට සැඟව සිටීම සඳහා ආධාර අනුබල දුන් බව කියමින් කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රාජකාරි කරන ප්‍රධාන

පොලිස් පරීක්ෂකවරයකු ද පසුගිය බ්‍රහස්පතින්දා(25) සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන

අංශයේ සහ නුවරඑළිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටින නිසා හොර ඝාතකයා දැන හඳුනාගෙන ඇති අතර ඔහු හමුවීමට ඔහුගේ නිවසට අවස්ථා තුනක දී පමණ පැමිණ තිබෙන බවද පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.

මෙසේ හොර ඉංජිනේරුවරයා හමුවීමට පැමිණ

ඇතැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහුට යම් යම් උපදෙස් ලබා දී ඇති බවද කියති.

අත්අඩංගුවට ගත් මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන්ද පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යයි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට මගපෑදුණේ දර්ශනීගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලෙස

සැලකෙන හොර ඉංජිනේරුවරයා ගෙන් සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරය පදවන රියදුරා ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ

තොරතුරු මත සහ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුවය.

ඝාතකයා මෙම රියදුරා සමග මිත්‍රත්වයක් ගොඩනගා ගෙන ඇතැයි කියන්නේ කුණු එකතු කිරීමට ඔහුගේ නිවස අසලට පැමිණීම නිසාය.

මෙම රියදුරාට ඔහු වරින් වර අත දිග හැර මුදල් ලබා දී තිබෙන බවද පැවසේ. පොලිසිය පවසන ආකාරයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා

මැණික් හින්න පොලිසියේ ස්ථානාධිපති තනතුර හෙබවූ වකවානුවේ කුණු ට්‍රැක්ටරයේ රියදුරා දැන හඳුනාගෙන තිබිණ.

මේ බව දැන ගැනීමෙන් පසු සැකකාර ප්‍රධාන පොලිස්පරීක්ෂකවරයා සැකකාර ඝාතකයාට දැනුම් දී ඇතැයි කියන්නේ සම්පූර්ණ වාර්තාව

ලැබෙන තුරු සැඟවී සිටින ලෙසටය. නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාගේ සහ නුවරඑළිය

සහකාර පොලිස් අධිකාරී (01) චන්දන බස්නායකගේ උපදෙස් සහ මෙහෙයුම යටතේ සිදුකරන ලද විමර්ශනවලදී මෙම තොරතුරු

අනාවරණය වී ඇත.

නුවරඑළියේ සිට දර්ශනීගේ සිරුර රැගෙන

කුණ්ඩසාල ප්‍රදේශයේ පිහිටි ඔහු නවාතැන් ගෙන සිටි නිවසට රැගෙන එන අතරවාරයේ ගමන් තෙහෙට්ටුව නිසා පේරාදෙණිය පාලම ළඟ නතර වී ගිමන් හැර ඇත.

“දර්ශනීගේ සිරුර රැගෙන එන අතරවාරයේ හිතට ලොකු බයක් දැනුණ නිසා සින්දු කියමින් එම බය මැඩගෙන රථය ධාවනය කරගෙන ආවා. ඉදිරිපස අසුනේ තිබූ දර්ශනීගේ මළසිරුර දෙස

බැලූ වාර අනන්තයි අප්‍රමාණයි” ඔහු පවසා ඇත.

පේරාදෙණිය පාලම ළඟට එන විට මධ්‍යම රාත්‍රී 12 පමණ වී තිබූ බව සැකකරු පොලිසියට පවසා ඇතැයි කියති. දර්ශනීගේ සිරුර ඉදිරිපස අසුනේ තබා ආරක්ෂිත පටියද දමා එම අසුන තරමක් පහත්කර වාඩිවී සිටින ආකාරයට ඔහු විසින් රැගෙන ඇවිත් තිබිණ.

මෝටර් රථයේ වීදුරු අඳුරු පැහැයෙන් තිබුණු නිසා පිටස්තර කෙනකුට මේ බවක් පෙනී නොමැත. දර්ශනීගේ සිරුර සහිත මෝටර් රථය තාවකාලිකව පදිංචිව සිටි කුණ්ඩසාල ප්‍රදේශයේ පිහිටි නිවසට රැගෙන ඒමෙන් අනතුරුව ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාව සහ දරු තිදෙනාද එහිම පිටුපස අසුනේ වාඩිකරවා ගෙන

ප්‍රාදේශීය සභා රියදුරාගේ දිගන රජවැල්ලේ පිහිටි නිවසට පැමිණ ඇත.

මෙම කාන්තාව නාරම්මල, හොරම්බාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තැනැත්තියකි. ඉන්පසුව ඝාතකයා මළසිරුර සහිත මෝටර්රථය පදවාගෙන යන අතරවාරයේ ප්‍රාදේශීය සභා රියදුරා ඔහුට අයත් යතුරුපැදියෙන් ඒ පසු පසින් තෙල්දෙණිය රෝහල දක්වා ගමන් කර තිබේ.

මෝටර්රථය එහි දැමීමෙන් පසු හොර ඝාතකයා රියදුරාගේ නිවසට කැඳවාගෙනවිත් එම නිවසේ දින දෙකක් නවාතැන් දී පසුව අවුරුදුඅටක් වයසැති ගැහැණු දරුවා සහ අවුරුදු පහක් වයසැති පිරිමි දරුවා නාරම්මල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් තිබේ.

එම දරු දෙදෙනා ඝාතකයා සමග කුරුණෑගල, නාරම්මල ගොස් ඇත්තේ රියදුරාට අයත් මෝටර් රථයකිනි. දරු දෙදෙනා හොර ඝාතකයාගේ 79

හැවිරිදි වයෝවෘද්ධ මවට භාරදී පැමිණ ඇත්තේ ඉකුත් 21 වැනිදාය.

“අපි දෙන්නා දරුවත් අරගෙන හෝටල්වලට ගියේ වෙන කිසිවක් නිසා නෙමේ අපි ගැන සැක හිතලා කවුරු හරි ඔත්තුවක් දෙයි කියන බයටයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් දර්ශනීගේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු තමා මේ විදිහට බස්වලින් වැල්ලවත්තේ ඉඳලා යාපනයටත් යාපනයේ ඉඳලා ආපහු

වැල්ලවත්තටත් ගමන් කළේ.

කවුරු හරි හඳුන ගනියි කියලා මම මාස්ක් එකක් දමා ගත්තා. බිරිඳ බුර්කාවකින් සැරසී සිටියා.”

“මේ විදිහට එහා මෙහා යන්නයි කෑමබිම්වලටයි ලක්ෂ දෙකකට වැඩිය මුදලක් වියදම් වුණා. තුන්වැනි වරට වැල්ලවත්තේ ඉඳලා යාපනයට ගිය වෙලාවේ තමා පසුගිය 24 වැනිදා අලුයම කාලයේ පොලිසියට කොටු වුණේ. ඒ වෙන තෙක්ම අපි බස් රථවල දවල් රෑ දෙකම එහා මෙහා ගියා” යැයි සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇතැයි කියති.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ දර්ශනීගේ මරණයට හේතුව ඇයගේ ගෙල සිරකිරීම නිසා සිදුවූවක් බවය.

ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයකි.

දර්ශනී ඝාතනය කිරීමට හේතුව වශයෙන් පොලිසිය සඳහන් කරන්නේ කැනඩා ගමන ප්‍රමාද වීම නිසා දෙදෙනා අතර ආරවුලක් දුර දිග යාමය. කැනඩා ගමන යාමේ අපේක්ෂාවෙන් ඇය ඒ වන විටත් කෝටි එකහමාරක මුදලක් ඇයගේ පෙම්වතාට භාර දී තිබූ අතර ඔහුගේ ඉල්ලීම මත අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස කරමින් සිටි රැකියාවෙන් ද ඉල්ලා අස්වී තිබිණ.

ඝාතකයාගේ නීත්‍යනුකූල බිරිඳ ඔහුගෙන් සිදුවන තාඩන පීඩන හා අනියම් සම්බන්ධතා මත පසුව ඔහුගෙන් දික්කසාද වී ඇති අතර, ඇය මේ වනවිට ජපානයේ රැකියාවක නිරතව සිටියි. ඝාතකයාට දරු දරුවෙක් ද සිටී. පළමු විවාහක බිරිඳ විවාහයෙන් වෙන්වී ජපානයේ රැකියාවකට ගොස් තිබෙන බව පොලිසියට පවසා ඇත්තේ සැකකරුය.

යාපනයේ දී අත්අඩංගුවට ගත් කාන්තාව සමග මීට වසරකට පමණ ඉහත දී විවාහ වූ බව සැකකරු පොලිසියට පවසා ඇති නමුත්, විවාහ සහතිකය කොහේ තිබෙනවා දැයි යන්න කීමට තමන් නොදන්නා බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

මේ සිද්ධියෙන් පසු අවුරුදු 8 ක් වයසැති දරුවාගේ පාසල් ගමද නතර වී ඇත. සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාව පොලිස් ඇසට වැලි ගසමින් කට්ටි පනිමින් සිටිය දී යාපනය කයිට්ස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට මග පෑදුණේ පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලැබුණු තොරතුරක් අනුව සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.

වැල්ලවත්තේ සිට යාපනයට ගමන් කරන මෙම බස් රථය ගැන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් තාක්ෂණය මගින් සෙවිල්ලෙන් සිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඒ සඳහා රහස් පොලිසියේද සහාය උපරිම ලැබී තිබේ.

සහකාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු එම තොරතුරු පොලිස්පති පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියට දැනුම් දීමෙන් අනතුරුව එම තොරතුරු යාපනය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස් .ජයමහට දැනුම් දී ඇත.

යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙම තොරතුරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලකට පැවසීමෙන් අනතුරුව එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් කණ්ඩායමක් සමග යාපනය කයිට්ස් ප්‍රදේශයට ගොස් වැල්ලවත්තේ සිට පැමිණි බස් රථයක් සෝදිසි කර

ඝාතකයා සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක

බලකායේ පොලිස් පරීක්ෂක චතුරංග ප්‍රධාන පොලිස් කණ්ඩායමක් යාපනයට ගොස් මේ දෙදෙනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්

පවත්වා වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය මූලස්ථාන පොලිසියට භාර දෙනු ලැබූහ.ඔවුන් සමග සිටි අවුරුදු හතරක් වයස දරුවාද මේ

සමග පොලිස් භාරයට ගනු ලැබිණ.

සැකකාර කාන්තාව භාරයේ සිටි සිව්හැවිරිදි දරුවා භාර ගන්නා ලෙස ඇය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය සැකකරුගේ

මවගෙන් ඉල්ලීමක් කළත් වයෝවෘද්ධ කාන්තාව එම දරුවා භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. මීට කලින් භාරදී ගිය අට හැවිරිදි දැරිය

සහ අවුරුදු පහක් වයසැති දරුවාට දිගටම රැකවරණය ලබාදීමට මෙම වයෝවෘද්ධ මාතාව කැමැත්ත පළ කර තිබිණ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වාගෙන යති.

Popular Articles