සකල ලෝකවාසී සහ ශ්‍රී ලංකාවාසී සැදැහැති බෞද්ධ ජනතාව අතිඋත්කර්ෂවත් අන්දමින් සමරනු ලබන පොසොන් පොහොය නිමිත් කර ගෙන ශුභාශිංසන පණිවිඩයක් යොමු කිරීමට ලැබීම උතුම් භාග්‍යයක් සේ සලකමි.
පොසොන් පොහොය යනු ශ්‍රී ලාංකේය ආධ්‍යාත්මික ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරන පොහොයක් ලෙස හැඳින්විය හැකිය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් අතිඋතුම් බුදුදහම ශ්‍රී ලංකා ද්වීපයට දායද කළා වූ උතුම් පුණ්‍ය දිනයක් ලෙස හැඳින්වෙන පොසොන් පොහොය යනු හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව මිනිසාගේ සිත, සමාජය සහ රාජ්‍යය යහපත් මඟකට යොමු කළ ආධ්‍යාත්මික විප්ලවයක සංකේතයක් ලෙස ද හැඳින්විය හැකිය. මිහිඳු මහරහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර එදා සිදු වූ ඒ ඓතිහාසික සාකච්ඡාව අපට උගන්වන්නේ බලය හෝ ධනය මත නොව ප්‍රඥාව, සංවාදය සහ අවබෝධය මත සමාජයක සැබෑ දියුණුව ගොඩනැඟෙන බව යි. එම දහම් පණිවිඩය එදා මෙන්ම අද ද අපේ රටට වැදගත් වේ. අභියෝග රැසක් හමුවේ තෙරපී සිටින අපේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ බෙදී වෙන්වීම නොව එකමුතුකම යි. වෛරය නොව මෛත්‍රිය යි. අසාධාරණය නොව යුක්තිය යි. බුදුදහමේ හරය වන කරුණාව, දයාව, සමානාත්මතාව සහ සත්‍යගරුකභාවය අපගේ පෞද්ගලික ජීවිතවල මෙන් ම ජාතික ගමන්මඟේ ද මූලික වටිනාකම් බවට පත් කර ගැනීමට මෙම පුණ්‍ය දිනයේ අප සැම අදිටන් කර ගත යුතුය. විවිධ ආගම්, ජාතීන් සහ සංස්කෘතීන් නියෝජනය කරන ජනතාවක් ලෙස අප සියලු දෙනා එක ම රටක දරුවන් බව සිහිපත් කරමින් අන්‍යෝන්‍ය ගෞරවය, සහජීවනය සහ මානුෂීයත්වය පදනම් කර ගත් සාධාරණ හා සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අදිටන් කරගත යුතුය. පොසොන් සඳෙන් ඒකාලෝක වන අද දින සැම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් ජනිත වේවා යන්න මාගේ ප්‍රාර්ථනයයි.




