කැම්පස් එකේදී අහම්බෙන් හම්බුන කෙල්ල විවාහ කරගන්න ඔන්න මෙන්න තියෙද්දී
ඇත්තටම ඇය කවුද කියලා හෙළිවෙනවා.. අවුරුදු 20කට කලින් ලියවුණු දෛවයේ රහස..![]()
![]()
ඔබ කුඩා කාලයේදී, සෙල්ලම් වයසේදී අහම්බෙන් හමුවෙලා, දවස් කිහිපයක් සෙල්ලම් කරලා, ඊටපස්සේ සදහටම අමතක වෙලා ගිය කෙනෙක්… අවුරුදු ගාණකට පස්සේ නැවතත් ඔබේ ජීවිතයටම ආවොත්..? ඒ ආවේ කවුද කියලා ඔයා දන්නෙම නැතුව, ඔයා එයාට ආදරය කරන්න පටන් අරන්, විවාහ වෙන්නත් තීරණය කරපු දවසක.. ඔයාලා දෙන්නා කුඩා කාලයේ එකට හිටපු ඡායාරූපයක් අහම්බෙන් හම්බුනොත්..?
මේ… එඩ් සැවිට් (Ed Savitt) සහ හයිඩි පාකර් (Heidi Parker) ගේ ආශ්චර්යමත් කතාවයි. ![]()
කතාව පටන් ගන්නේ 1997 අවුරුද්දේ. ඒ වෙනකොට එඩ් සහ හයිඩි කියන දෙන්නටම වයස අවුරුදු හයයි. හයිඩි තමන්ගේ පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න තුර්කියේ සුන්දර රිසෝට් එකකට යනවා. එඩ්ගේ පවුලේ අයත් ඒ දවස්වලම ආවේ ඒ රිසෝට් එකටමයි.
ඔයාලා දන්නවනේ හෝටල්වල තියෙන Kids’ Club. මේ පුංචි දෙන්නා මුලින්ම හමුවෙන්නේ එතැනදී. අවුරුදු හයක පුංචි දරුවන්ට යාළුවෝ වෙන්න මහලොකු හේතු ඕන නෑනේ. දවසක් ඇතුළත එඩ් සහ හයිඩි හොඳම යාළුවෝ වුණා.
ඊටපස්සේ ගෙවුණු හැම දවසකම ඔවුන් දෙන්නා හිටියේ එකට.
වෙරළේ වැලි මාළිගා හැදුවා…
රිසෝට් එක වටේ හිනාවෙවී දිව්වා…
හවසට එකිනෙකාගේ අත් අල්ලගෙන හඳ පායනකම් සෙල්ලම් කරා…
ඒක හරියට හරියට පුංචි සුරංගනා කතාවක් වගේ. හැබැයි නිවාඩුව ඉවර වුණා. පවුල් දෙකම ආපහු තමන්ගේ රටවල් බලා පිටත් වුණා. කාලයත් එක්ක, ඒ පුංචි මතකය වැලි වෙරළේ ඇඳුනු සිතුවමක් වගේ මැකිලා ගියා. හයිඩිට එඩ් කියන නම විතරක් නෙවෙයි, එහෙම පිරිමි ළමයෙක්ව හමු වුණා කියන එකත් සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගියා.
කාලය වේගයෙන් ගලාගෙන ගියා. දැන් අවුරුදු 14ක් ගතවෙලා. 2011 අවුරුද්ද වෙනකොට හයිඩි වගේම එඩ් කියන්නෙත් නවක යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්. දෙන්නම උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත්තේ නියුකාසල් විශ්වවිද්‍යාලය (Newcastle University).
දෛවය කියන්නේ පුදුමාකාර ලේඛකයෙක්. විශ්වවිද්‍යාලයේ දහස් ගණනක් සිසුන් ඉදිද්දී, එඩ් සහ හයිඩි දෙන්නටම නවාතැන් ගන්න ලැබුණේ එකම ශිෂ්‍ය නේවාසිකාගාරයක, එකම ෆ්ලැට් එකක හැබැයි ඔවුන් දෙන්නා ඒ බවක් දැනන් හිටියේ නැහැ.
දවසක් එඩ්ට තමන්ගේ ෆ්ලැට් එකේ තිබිලා ලියුමක් හම්බෙනවා. ඒකේ ගහලා තිබුණේ හයිඩි කියලා නමක්. කුතුහලය නිසාම එඩ් ෆේස්බුක් එකට ගිහින් මේ නම සර්ච් කරලා බැලුවා. එයාට හයිඩිගේ ප්‍රොෆයිල් එක හම්බුණා.
ඉතින්, කතාවක් දාගන්නත් එක්ක එඩ් හයිඩිට මැසෙජ් එකක් දැම්මා. හැබැයි ඒක ප්‍රේම පණිවිඩයක් නෙවෙයි. ![]()
“ෆ්ලැට් එකේ තියෙන ටම්බල් ඩ්‍රයර් එක (රෙදි වියළන මැෂිම) පාවිච්චි කරන්නේ කොහොමද?” කියන සරල ප්‍රශ්නය.
ඔන්න ඔය මැසේජ් එක තමා ඔවුන්ගේ දෙවැනි ඉරණම තීරණය කරපු ආරම්භය වුණේ
ඒ සරල මැසේජ් එකෙන් පස්සේ ඔවුන් දෙන්නා මුණගැසුණා, කතාබහ කළා. ඔවුන් අතර තිබුණේ අමුතුම ආකාරයේ ගැලපීමක්. හරියට ආත්ම ගණනාවක ඉඳන් අඳුරනවා වගේ දැනීමක් ඔවුන්ට දැනෙන්න ඇති. (ඇයි ඉතින් පොඩි කාලේ අත් අල්ලන් සෙල්ලම් කරපු අයනේ)
යාළුකම ඉක්මනින්ම ආදරයකට පෙරළුණා. ඔවුන් දෙන්නා වෙන්කළ නොහැකි පෙම්වතුන් වුණා. විශ්වවිද්‍යාල ජීවිතය ඉවර වෙලත් ඔවුන්ගේ ආදරය දවසින් දවස ශක්තිමත් වුණා මිසක් අඩු වුණේ නැහැ.
අවසානයේ 2015 අවුරුද්ද උදා වුණා. එඩ් තීරණය කළා හයිඩිට තමන්ගේ ජීවන සහකාරිය වෙන්න කියලා ආරාධනා කරන්න. ඉතාමත් ආදරණීය විදිහට එඩ් හයිඩිට Propose කළා. හයිඩිත් සතුටු කඳුළු පුරවාගෙන ඒ ආරාධනාව පිළිගත්තා. හැබැයි මේ වෙනකම්ම ඔවුන් දෙන්නා දැනන් හිටියේ නැහැ තමන්ගේ ජීවිතේ ලොකුම රහස
ප්‍රොපෝසල් එකෙන් මාස කිහිපයකට පස්සේ, මේ දෙන්නා තමන්ගේ අම්මලා දෙන්නවත් එක්කගෙන රාත්‍රී ආහාර වේලකට සහභාගි වුණා. එතැනදී කතාබහ කරමින් ඉන්න අතරතුරේ හයිඩිගේ අම්මා, කේ (Kay), අතීත මතකයන් අවදි කරන්න පටන් ගත්තා.
දුවට මතකද දන්නේ නැහැ, අපි ඉස්සර තුර්කියේ නිවාඩුවකට ගිය වෙලාවේ දුවට එහේදී පුංචි පිරිමි ළමයෙක් හම්බුණා. එයාගේ නමත් එඩ්. දුව මුළු නිවාඩුව පුරාම එයාගේ අතින් අල්ලගෙනමයි හිටියේ…” අම්මා කිව්වා.
මේ කතාව ඇහුවම මුළු මේසයම නිශ්ශබ්ද වුණා. හයිඩිටයි එඩ්ටයි හිතාගන්න බැරි වුණා. එඩ් කියන්නේ සාමාන්‍ය නමක් නිසා හැමෝම හිතුවේ ඒක අහම්බයක් වෙන්න ඇති කියලා. හැබැයි හයිඩිගේ අම්මාගේ හිතට ඒක ලොකු කුතුහලයක් වුණා.
ගෙදර ගියපු ගමන්, කේ අම්මා කෙළින්ම ගියේ අට්ටාලයට. එයා අවුරුදු ගණනාවක් පරණ දූවිලි වැදිච්ච ෆොටෝ ඇල්බම් පෙරළන්න පටන් ගත්තා. සති කිහිපයක් තිස්සේ කරපු මේ ගවේෂණය අවසානයේ ඇයට ඒ ඓතිහාසික ඡායාරූපය හමු වුණා
ඒ 1997 තුර්කියේ වෙරළේදී ගත්තු ඡායාරූපයක්. ඒකේ හිටියේ අවුරුදු හයක පුංචි හයිඩි. ඇය ළඟින්ම හිටගෙන හිටියේ ඇය විවාහ වෙන්න පෙරුම් පුරන ඇගේ පෙම්වතා, එඩ් සැවිට්
ඡායාරූපය දැකපු ගමන් මුළු පවුලටම තමන්ගේ ඇස් අදහාගන්න බැරි වුණා. හයිඩි පුදුමයෙන් කෑගැසුවා. එඩ් ගල් ගැසුණා. ඔවුන් දෙන්නා අවුරුදු 14කට පස්සේ නැවත මුණගැසෙද්දී, තමන් කුඩා කාලයේ ආදරය කරපු, සෙල්ලම් කරපු කෙනාමයි මේ ඉන්නේ කියලා ඔවුන්ට හීනෙකින්වත් හිතුනේ නැහැ.
දෛවය ඔවුන්ව පළමු වතාවට එකතු කළා, දෙවැනි වතාවටත් කිසිම සලකුණක් ඉතිරි නොකර නැවතත් එකම තැනකට අරන් ආවා.
මේ අතිශය සුන්දර සත්‍ය ආදර කතාව ලස්සනම විදිහට කෙළවර වුණේ 2016 අගෝස්තු මාසයේදී. එඩ් සහ හයිඩි අතිනත ගෙන විවාහ දිවියට ඇතුළත් වුණා.
ඔවුන් තමන්ගේ විවාහ මංගල්‍ය ආරාධනා පත්‍රය (Wedding Invitation) නිර්මාණය කළේ කොහොමද දන්නවද? 1997 දී තුර්කි වෙරළේ ඔවුන් දෙන්නා හිටපු ඒ පුංචි කාලේ ඡායාරූපය ඒ විදිහටම Recreate කරලා, නැවතත් ඒ ඉරියව්වෙන්ම ඡායාරූපයක් අරගෙන.
ලෝකේ කොච්චර මිනිස්සු හිටියත්, ඔබට අයිති කෙනා, ඔබ වෙනුවෙන්ම වෙන්වුණු කෙනා ලෝකේ කොහේ හිටියත් දවසක ඔබ ළඟට එනවා. දෛවයට හැරවිය නොහැකි කිසිම බලවේගයක් මේ ලෝකේ නැහැ.
“If it’s meant to be, it will be.” (එය සිදුවීමට නියමිත නම්, එය කෙසේ හෝ සිදුවනු ඇත.)



