රුපියල් ලක්ෂ 50ක ජනතා මුදල් වතුරේ යවා ඇති බවත් අත්තනගල්ලේ ‘අලවල සංචාරක පුරවර’ ව්‍යාපෘතිය අතරමග නතර වී…, අතිවිශාල මුදල් කාබාසිනියක් සිදු වීඇති බවත්…
හිටපු පළාත් සභා මන්ත්‍රී.. සමගි ජන බලවේග අත්තනගල්ල ආසණ සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්… පවසයි..
ඔහු ප්‍රකාශ කරන්නේ වත්මන් ජනාධිපතිවරයාගෙන් මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි…

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලවල ග්‍රාමයේ ආරම්භ කරන ලද “සංචාරක පුරවර” ව්‍යාපෘතිය මේ වන විට සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බවට චෝදනා එල්ල වෙයි. රුපියල් ලක්ෂ 50කට ආසන්න මහජන මුදල් කන්දරාවක් වැය කර ඇති මෙම ව්‍යාපෘතිය, කිසිදු ප්‍රමිතියකින් තොරව සහ ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගැනීමෙන් තොරව දේශපාලනඥයින්ගේ හිතුමතයට සිදුකරන ලද්දක් බව එම භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි…
ව්‍යාපෘතියේ වර්තමාන ඛේදනීය තත්ත්වය
ඔහු පෙන්වා දෙන ආකාරයට, මෙම භූමියේ විශාල මුදලක් වැයකර ඉදිකර ඇති පියගැටපෙළ සහිත ප්‍රේක්ෂකාගාරය මේ වන විට සම්පූර්ණයෙන්ම පාළුවට ගොස් ඇත. දේශීය නර්තනාංග පැවැත්වීම සඳහා මෙය ඉදි කළද, මේ දක්වා කිසිදු දේශීය හෝ විදේශීය සංචාරකයෙකු මෙම ස්ථානයට පැමිණ නැත. මීට අමතරව ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු මෙසේ කරුණු දැක්වීය:
ඉදිකරමින් පැවති කබානා (Cabanas) හතරක කණු පමණක් ඉතිරිව ඇත.
ඉදිකර ඇති වැසිකිළියේ කොමඩ් එකක් හෝ නොමැති අතර, එහි ඇත්තේ වතුර බාල්දියක් සහ ෂවර් එකක් පමණි.
කාර්යාලය ලෙස ගෙන ආ කන්ටේනර් කුටියද කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසා දමා තිබේ…
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ප්‍රදේශවාසීන් දැනුවත් කර නොමැති අතර, කිසිදු ශක්‍යතා වාර්තාවක් (Feasibility Report) සකස් කර නොමැති බවද ඔහු චෝදනා කරයි. මෙය හුදෙක් ප්‍රාදේශීය සභාවේ සහ අදාළ දේශපාලන අධිකාරියේ වුවමනාවට පමණක් සිදු කළ අසාර්ථක ව්‍යාපෘතියක් බව ඔහු පවසයි. වෙන් කළ රුපියල් ලක්ෂ 50ක මුදලින් ලක්ෂ 10ක පමණ වත් වැඩක් භූමිය තුළ සිදුවී නොමැති බව පවසන ඔහු, මෙහි විශාල මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට සැක පළ කරයි.
“බොහෝ දුරට මේ රජය ආවේ මේ දූෂණය, වංචාව නැති කරන්න. ඒ නිසා මම දකින ආකාරයට මේ වර්තමාන රජය තුළත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ දූෂණයක් හා වංචාවක්. ඒ නිසා මම බලධාරීන්ගේ අවධානය යොමු කරලා, විශේෂයෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අවධානය යොමු කර මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලා සිටිනවා.”
අලවල යනු ඓතිහාසික ලෙන් විහාරයක් සහ ‘දෙවියන් පැන්න ඇල්ල’ වැනි ස්වභාවික සම්පත් ඇති ගම්මානයකි. එහි බහුතරයක් ජනතාව බට කර්මාන්තය වැනි දුෂ්කර රැකියාවල නිරත වෙමින් එදිනෙදා ජීවිකාව ගැටගසා ගන්නා බව ඔහු පෙන්වා දෙයි. මෙම ලක්ෂ ගණනක ජනතා මුදල් කැලයට විසි නොකර, එම කර්මාන්ත නගා සිටුවීමට යෙදවූවා නම් මීට වඩා බොහෝ ඵලදායී වනු ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය….


