1989 ජනතා විමුක්ති පෙරමුණේ මුල්ම ප්‍රධාන ලේකම්, දේශපාලන අරගලය මොහොතේ.. ජාතික ගැටළුව කියන දේශපාලන න්‍යායික සංවාදය නිසා.. (ලයනල් බෝපගේ දේශපාලන සංවාදයේදී ස්වයං නිර්ණයට පක්ෂ දේශපාලන ක්‍රියාකාරිකයෙක්.. )කාරණාව නිසා.. එයට සහභාගී නොවී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වෙනව…
ලයනල් බෝපගේ විසින් රචිත විමුක්ති ගී කෘතිය ජූලි 4 වන දා ඔස්ට්‍රේලියාවේදී එලිදැක්වූ අවස්ථාවෙ.. එකී ඔහුගේ ඉතිහාසය මොහොත සිහි කරමින් ඔහු පැමිණ සිටි පිරිස අමතා කල කතාව පහලින්.. එළි දැක්වූ අවස්තාවේ මා කළ
පිළිගැනීමේ කතාව ඔබේ දැන ගැනීම සදහා මෙහි පළ කරමි.
සුබ සැන්දෑවක් වේවා, ඔබ සියලු දෙනාටම,
අද අපි රැස්ව සිටින මෙම භූමියේ සාම්ප්‍රදායික අයිතිකරුවන් සහ භාරකරුවන් වන වුරුන්ජෙරි සහ බුනරොන්ග් ජනයාට මගේ ප්‍රණාමය පුද කරනවා. එසේම මෙම ප්‍රදේශයේ අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ අනාගතයේ එන ආදිවාසී වැඩිහිටියන් සියලු දෙනාටම මගේ ගෞරවය පිරිනමනවා.
අද වැනි ඉතාමත් ශීතල, වැසි සහිත දිනයක පවා, මගේ පෞද්ගලික ආරාධනාව පිළිගත්, ඒ වගේම මා සමඟ දේශපාලනිකව හා සාහිත්‍යමය වශයෙන් ලැදි කමක් දක්වන ඔබ සැම දෙනාම මෙම ස්ථානයට පැමිණීම, මාර්ගගතව හෝ මෙයට සම්බන්ධ වීම මට සහ චිත්‍රාට කරන ගෞරවයක් ලෙස සලකනවා.
දේශගුණික බාධාවන් පසෙකට ලා ඔබ මෙහි පැමිණීමෙන් පෙනී යන්නේ ‘විමුක්ති ගී – Songs of Liberation’ කෘතිය වෙනුවෙන් සහ එහි එන අදහස් ගැන ඔබ තුළ තිබෙන ලෙන්ගතුකම යි. ඒ ගැන මා මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා.
‘විමුක්ති ගී’ කියන්නෙ හුදු ගීත එකතුවක් පමණක් ම නොවෙයි. එය අප ජීවත් වන සමාජය, එහි ඇති අසමානතාවය සහ මිනිසාගේ නිදහස සහ ගරුත්වයෙන් යුතුව ගත කළ හැකි ජීවිතයක් උදෙසා කෙරුණු සහ කෙරෙන දේශපාලනික ආමන්ත්‍රණයක්.
මෙම උත්සවය සාර්ථක කර ගැනීමේ දී එයට නන් අයුරින් සහාය වුණු සියලු දෙනාටම පසු අවස්ථාවක දී ස්තුති කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා මම මේ අවස්ථාවේ දී ඒ ගැන සඳහන් කරන්නට අදහස් කරන්නේ නැහැ.
මෙහි දී එක් වැදගත් කරුණක් මතක් කර දිය යුතුයි. මෙතැනට සහභාගි වෙන අප අතරේ විවිධ දේශපාලන අදහස් හා මතිමතාන්තර දරන අය සිටිනවා. අද අපේ මේ සාකච්ඡාව ලංකාවේ දැනට පවතින ජාතික ජන බලවේග ආණ්ඩුව ගැන හෝ එහි කටයුතු ගැන හෝ කරන සාකච්ඡාවක් නොවෙයි.
දේශපාලන හා වෙනත් වෙනස්කම් හේතුවෙන් ඇතැම් අය අද මෙම අවස්ථාවට සහභාගි නොවන බව දැන ගන්නට ලැබුණා. එය මිනිසත් බවේ පිරිහී යෑමක් ලෙස සලකනවා හැරෙන්නට, මෙවැනි තත්වයක් දේශපාලන වශයෙන් තේරුම් ගැනීමට නොහැකියි. ඔවුන්ගේ නොපැමිණීම ගැන කණගාටුව වෙනවා.
එබැවින්, මේ දොරට වැඩීමේ උත්සවය ‘විමුක්ති ගී’ කෘතිය, එහි ඉතිහාසය සහ එකල පැවති දේශපාලන වාතාවරණය වැනි කරුණුවලට පමණක් සීමා කරන්නට තරම් අපි ඉවසිලිවන්ත වෙමු.
මේ කෘතියට තොරතුරු එක්රැස් කිරීමේ දී සිදු වූ අමතක වීම්, අතපසු වීම් සහ තොරතුරු නොලැබීම් හේතුවෙන් ඇතැම් අයගේ දායකත්වයන් මෙම කෘතියේ සඳහන් නොවිය හැකියි. උදාහරණ ලෙස, දුෂ්කර ම මුල් කාලයේ ප්‍රසංගයේ ප්‍රවාහණ සහ කැමරා කටයුතු වලදී සහාය වූ යූ ආර් පෙරේරා සහ වර්ණකුලසූරිය වැනි සොයුරන්, එමෙන්ම පෙර පැවති තාඩන පීඩන සහ භීෂණකාරී තත්වයන් හේතුවෙන් ගී පද රචනා නිර්නාමික ව යොදා ගැනීමට අපට ලබා දුන් සොයුරු සොයුරියන් පිළිබඳව සඳහන් කිරීමේ දී අඩුපාඩු සිදු වී තිබෙනවා. ඒ ගැන මා ඒ සොයුරු සොයුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ තොරතුරු ලැබෙන්නට සැලැස්වුවොත් ඉදිරි මුද්‍රණයේ දී ඒ කරුණු ඇතුලත් කරන්නට කටයුතු කරනු ඇති.
අද දවසේ මේ වැඩසටහන මෙහෙයවීම සඳහා අප සමඟ එකතු වන ආදරණීය සහෝදරයෙක් හඳුන්වා දීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔහු හඳුන්වා දීමට අවශ්‍ය නොවන තරම්. ලංකා ලොතරැයි මණ්ඩලය ඇතුළු බොහෝ ප්‍රධාන රාජ්‍ය උත්සවවල නිල පූරකවරයා ලෙස හැත්තෑව දශකයේ පමණ පටන් අප ඔහුව දැන සිටියා.
ඒ අන් කවරකුත් නොවෙයි, ‘විමුක්ති ගී’ ප්‍රසංගයේ ආරම්භයේ සිටම පාහේ එහි පූරකයා ලෙස කටයුතු කළ බුද්ධදාස විතානාරච්චි සොයුරායි. අදත් ඔහු මෙම උත්සවය මෙහෙයවන්නට අප සමග එකතු වීම අපට මහත් ආඩම්බරයක්.
අප කවුරුත් දන්නා පරිදි ඔහු සිනමාවේ සහ වේදිකාවේ ප්‍රවීණ කලාකරුවෙක්; අති ප්‍රසිද්ධ නළුවෙක්. ජාතික රූපවාහිනියේ ප්‍රධාන නිවේදකයෙක් වගේම ක්‍රියාකාරිකයෙක්. දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලිනාට්‍ය සහ මහසුපින වැනි බොහෝ වේදිකා නාට්‍යය හරහා ඔහු කලා රසිකයන් අතර අතිශය ප්‍රසාදයට ලක් වුණා.
මටත්, චිත්‍රා සොයුරියටත්, බුද්ධි සහෝදරයා කියන්නේ ඊටත් වඩා එහා ගිය සමීපතමයෙක්. අපේ විවාහයෙන් පසුව මුලින්ම අපව නතර කර ගන්නට සිය නිවෙසේ ඉඩකඩ ලබා දුන්නේ බුද්ධි සහෝදරයා සහ හේමමාලා සහෝදරිය; ඔවුන්ගේ තලවතුගොඩ නිවසේ, ඔවුන්ගේ දරු දැරියන් තිදෙනාත් සමඟ. ඒ නිසා අපේ පවුල් අතරේ දේශපාලනිකව පමණක් නොවෙයි, පුද්ගලිකවත් ඉතාමත් දැඩි බැඳීමක් පවතිනවා.
‘විමුක්ති ගී’ පමණක් නොවෙයි, ‘සමාජවාදී කලා සංගමය’ ලෙස අප වේදිකාවට ගෙන එන්නට උත්සාහ කළ, එහෙත් එකල රජයෙන් තහනම් කළ, ප්‍රේමවතී මනම්පේරි සහෝදරියගේ ජීවිත කතාව පිළිබඳ වේදිකා නාට්‍යය, ‘මිලාන වූ මලක් නොවේ’ නමැති නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ බුද්ධි සහෝදරයා සහ හේමමාලා විතානාරච්චි සහෝදරියයි.
තවත් සුවිශේෂී කරුණක් සඳහන් කළ යුතුයි. බුද්ධි සහෝදරයාගේ උපන් දිනය යෙදී තිබුණේ ගිය සතියේ 30 වන දා. ඒ අනුව, අපි සියලු දෙනාම එකතු වී ඔහුට සුබ උපන් දිනයක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු!
මෙතැන් පටන් මෙම දොරට වැඩීමේ උත්සවයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් සහ ලෙන්ගතුකමින් ආරාධනා කරනවා, බුද්ධදාස විතානාරච්චි සොයුරාට.
ඔබ සැමට ස්තුතියි!
—————-
ඊයේ (ජූලි 4) පැවති විමුක්ති ගී කෘතිය එළි දැක්වීම මෙම සබැඳියෙන් නැරඹිය හැකිය:
https://www.facebook.com/share/p/1ZNdNbUYeb/
See less




