spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ජනාධිපතිතුමනි, මේක ‘සර්’ට වෙච්ච දේ ඔබටත් වෙන්න නොදී බේරාගන්න කරන ආයාචනයක්

ආදරණීය අනුර සහෝදරයාණෙනි,

අද සමාජ මාධ්‍ය පුරා ඔබතුමාට එරෙහිව ලියැවෙන පෝස්ට්, එක එක අය ලියන දීර්ඝ හෑලි අතරේ, මම කෙලින්ම ඔබටම අමතා මේ ලිපිය ලියන්න තීරණය කළේ හදවත පතුලෙන්ම නැගෙන ලොකුම ලොකු සංවේගයකින්. මම දන්නවා ජනාධිපතිතුමනි, ඔබතුමා අද ඉන්නේ සුළුපටු පීඩනයක නෙවෙයි. මුළු රටක බර, අවුරුදු ගණනාවක් තිස්සේ කඩා වැටුණු පද්ධතියක බර ඔබේ කරපිට වැටිලා තියෙනවා. ඒත්… ඒ පීඩනය අස්සේ ඔබතුමාට වටේ ඉන්න අය කියන හැමදේම විශ්වාස කරන්න එපා, ඒ හැමදේම පිළිපදින්නත් එපා කියලා මම පපුවට අත තියලා ඉල්ලා සිටිනවා.

අපිට බයයි ජනාධිපතිතුමනි… එදා ‘සර්’ට (ගෝඨාභය රාජපක්ෂට) වටේ හිටපු අය කරපු දේම ඔබතුමාටත් වෙයිද කියලා අපිට බයයි. ඔබතුමා ඒ මට්ටමකට වැටෙනවා බලන්න මාලිමාව දිනවන්න රෑ නිදිමරාගෙන කැපවුණු අපි කිසිම කෙනෙක් කැමති නැහැ!

අධිකරණයට සහ නීතියේ ආධිපත්‍යයට පහරදෙන්න එපා!

ළඟදී අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ගත් යම් යම් තීන්දු තීරණ ගැන සමාජය ඇතුළේ ලොකු කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා.

  • ඔබතුමාලත් එක්ක ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව හිටපු, අල්ලසට හා දූෂණයට එරෙහිව සටන් කරපු ලාල් විජේනායකලා වැනි ප්‍රජාතන්ත්‍රවාදී ජ්‍යෙෂ්ඨයින් පවා අද මේ තීරණ ගැන දැඩි විරෝධයක් දක්වනවා.
  • මැතිවරණ සමයේදී කිසිදු ලාභප්‍රයෝජනයක් නැතුව, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ඔබතුමා සූදානම් කළ වේදිකාවල කෙළින් හිටගත් සාලිය පීරිස් මහතා වැනි නීතිඥයින් අද මේ සිදුවීම් හමුවේ දැඩි කලකිරීමකින් විරෝධය පළ කරනවා.
  • ඒ මදිවට, ඔබේම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත්, එහි සභාපතිවරයාටත් සමාජ මාධ්‍ය හරහා පහත් ලෙස අපහාස කරනවා අපි දකිනවා.

ජනාධිපතිතුමනි, නීතිඥ සංගමයට හෝ ස්වාධීන අධිකරණ පද්ධතියට පහරදීම කියන්නේ අපි පතපු “වෙනස” නෙවෙයි. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්න ආපු ආණ්ඩුවක්, අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එක්ක ගැටෙන්න යාමෙන් වෙන්නේ ඔබතුමා ගැන තිබ්බ ගෞරවය පළුදු වෙන එක විතරයි.

සිරස විතරක් බලන්න එපා – අනිත් චැනල් ටිකත් දාලා බලන්න!

අනුර සහෝදරයා, ඔබතුමාට වටේ ඉන්න නිලධාරීන් සහ පක්ෂයේ අය පෙන්වන චිත්‍රය විතරක් බලන්න එපා. අහන එක මාධ්‍ය නාලිකාවක (සිරස) මතය විතරක් නෙවෙයි, අනික් හැම චැනල් එකක්ම දාලා රටේ සැබෑ තත්වය බලන්න. රටේ පහළ මට්ටමේ මිනිස්සු විඳින පීඩනය වටේ ඉන්න අය ඔබතුමාගෙන් වහනවා.

අද මහපාරේ හිඟනකමින්, බිඳවැටුණු ගොවි ජනතාවගේ හඬ ඔබතුමාට ඇහෙන්නේ නැති තරමට වටේ ඉන්න අය ඔබව කොටු කරලාද? අදත් ගොවියෝ අමුඩ ගහගෙන තමන්ගේ අයිතීන් ඉල්ලලා කොළඹට එන තත්වයක් හැදුනොත්… ජනාධිපතිතුමනි, ඔබතුමාට විතරක් නෙවෙයි, ඔබට ඡන්දය දීපු අපිටත් පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ. අපිට ඇඳුමක් ඇඳගෙන පාරේ යන්න ඕනේ ජනාධිපතිතුමනි! මිනිස්සු අපෙන් අහද්දී “ඕකටද උඹලා චන්දෙ දුන්නේ” කියලා, අපිට දෙන්න උත්තර නැති වෙනවා.

අපේ අන්තිම ඉල්ලීමයි මේ…

අපි ඔබට ඡන්දය දුන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි, මේ රටේ දූෂණය නතර කරලා, නීතිය හැමෝටම එකලෙස ක්‍රියාත්මක වෙන, සාධාරණ රටක් හදයි කියන එකම එක බලාපොරොත්තුවෙන්.

ඔබතුමා වටේ ඉන්න, බලයෙන් මත්වුණු, අදූරදර්ශී උපදේශකයින්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ කටවල් වහාම පාලනය කරන්න. නීතිඥ සංගමයට, අධිකරණයට සහ රටේ ගොවි ජනතාවට කන් දෙන්න. ඔබතුමාගේ නම ඉතිහාසයේ ලියැවෙන්න ඕනේ “රට හදපු නායකයා” විදිහට මිසක්, “වටේ හිටපු අය නිසා අනාථ වුණු තවත් එක් පාලකයෙක්” විදිහට නෙවෙයි!

මේ අසරණ තරුණියගේ, මේ රටට ආදරේ කරන ලක්ෂ ගණනක් තරුණයන්ගේ හදවත්වලින් නගින හඬට කරුණාකරලා කන් දෙන්න!

-මාලිමාවට ඡන්දය දුන්, රට ගැන තවමත් බලාපොරොත්තු තබාගෙන සිටින තරුණියක්.

Popular Articles