spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

එක්සත් ජාතීන්ගේ හමුදාවට එදා එන්න දුන්නානම් ප්‍රභාකරන් තවමත් ජීවත් වෙනවා.. ඇමරිකාවේ හිටපු තානාපති

එක්සත් ජාතීන්ගේ හමුදාවට එදා එන්න දුන්නා නම්
ප්‍රභාකරන් තවමත් ජීවත් වෙනවා
ලංකාවට ආ ඇමරිකාවේ හිටපු තානාපති

මහින්ද සමරසිංහ හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයෙකි. එනමුත් ඉකුත් කාලේ ඔහු ගැන රටේ කතාබහක් ඇති වුණේ දේශපාලනය නිසා නොව ඇමරිකාවේ තානාපතිවරයා ලෙසයි. ජනපතිවරුන් තිදෙනෙක් යටතේ ඇමරිකාවේ සේවය කළ ඔහු සිය පැවරුම නිමා කර ගිය සතියේ ලංකාවට ආවේය. මහින්ද සමරසිංහ මීළඟට කරන්න යන්නේ කුමක්ද? මේ ඔහු කළ කතාබහකි…

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් තානාපති තනතුරක් සාමාන්‍යයෙන් භාරගන්නේ නෑ. ඒත් ඔබ මන්ත්‍රිකම අතහැරලා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිධුරය භාරගත්තේ ඇයි?

මම අවුරුදු විස්සක් ඒ වෙනකොට කැබිනට් ඇමැතිවරයෙක් විදියට කටයුතු කරලා තිබුණා. ඒ අත්දැකීම් නොසලකා, මාව පසු පෙළේ වාඩි කරලා තිබුණා. මම කළකිරීමට පත්වෙලා හිටියේ. එක දවසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතා කරලා පුළුවන්නම් ඇමරිකාවට යවන්න සුදුසු කෙනෙක් යෝජනා කරන්න කිව්වා. මම විහිළුවට මම යන්නම් කියලා කිව්වා. අනේ මහින්ද බොහෝම හොඳයි, ඔයා යනවා නම් සියලුම පහසුකම් දෙන්නම් කිව්වා. මම පවුලේ අය එක්ක කතා කරලා උත්තරයක් දෙන්නම් කිව්වා. රටට සේවයක් කරන්න පුළුවන් නිසා තානාපති තනතුර ගන්න කියලා පවුලේ අයත් කිව්වා. ඒ වන විටත් තානාපති කාර්යාලවල සේවය කරලා අත්දැකීම් තිබෙන නිසා මේ තනතුරින් වැඩක් කළ හැකි බව තේරුම් ගත්තා. ඒ අනුව තමයි දෙදහස් විසි එකේ දෙසැම්බර් පළමුවැනිදා තානාපතිධුරයේ වැඩ භාරගත්තා. මේ කාලේ ලංකාවයි, ඇමරිකාවයි සමීප කරලා බොහෝ දේ ලංකාවට ගැනීමට හැකියාව ලැබුණා.

ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරු තිදෙනා යටතේ ඔබ තානාපතිවරයා විදියට කටයුතු කළා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වුණාම සියලුම තානාපතිවරු මෙරටට කැඳවනු ලැබුවත්, ඔබ කැඳවූයේ නෑ. ඔබ කොහොමද ලංකාවට එන්නේ නැතිව හිටියේ?

පාර්ලිමේන්තුවෙන් අයින් වෙකොට තවදුරටත් දේශපාලනය කරන්නේ නෑ කියලා තීරණය කළා. කිසිම ජනාධිපතිවරයෙක් යටතේ මම දේශපාලනය කළේ නෑ. ඔය ජනාධිපතිවරු තුන්දෙනාම මට දේශපාලනය කරන්න කියලා කිව්වේත් නෑ. තානාපතිවරයා විදියට දේශපාලනය නොකරපු නිසා මට දිගටම ඉන්න පුළුවන් වුණා.

ඔබ ඇමරිකාව එක්ක සමීපව කටයුතු කරමින් ට්‍රම්ප් ජනාධිපතිතුමා පනවපු බදු අඩු කරගැනීමටත් සමත් වුණා. ඇමරිකාවත් එක්ක ළඟ සම්බන්ධතාවයක් ඇතිකරගත්තේ කොහොමද?

ඒ අයට කතා කළ යුත්තේ කෙසේද කියලා මම දැනගෙන හිටියා. ඒ වගේම ගියපු දවසේ ඉඳලා මම මිත්‍රයන් එකතු කරගත්තා. මධ්‍යස්ථව ලංකාව ගැන කරුණු පැහැදිලි කරලා මගේ විශ්වසනීයත්වය ඇති කරගත්තා. ඒ සියල්ල එක්කම තාක්ෂණික කරුණුත් මම තේරුම් ගත්තා. ඇමරිකාවේත් ට්‍රම්ප් සහ බයිඩන් ජනාධිපතිවරු දෙදෙනා එක්කම වැඩ කරන්න ලැබුණා.

ඇමරිකාවේ තානාපතිවරයා විදියට වැඩ කළ නිසා තමයි ඔබ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදියට දැන් මතක හිටින්නේ. ඒත් ඔබ දේශපාලනය කරන්න කලිනුත් රාජ්‍යතාන්ත්‍රිකයෙක්?

ඔව් මා ඔස්ට්‍රේලියාවේ රැකියාව කරන අතරවාරයේදී තමයි කැන්බරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් ලෙස පත්වීමක් ලැබුවා. කාලයක් එතැන ඉඳලා ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මම යැව්වා. එතැන කාලයක් ඉඳලා තමයි ලංකාවට ආවේ.

ලංකාවේ උපන් ඔබ ඔස්ට්‍රේලියාවට ගියේ ඇයි?

මගේ ගම කොළඹ. හැදුණේ වැඩුණේ කොළඹ. වැඩි කාලයක් ඉස්කෝලේ ගියේ ඔස්ට්‍රේලියාවේ. එහේ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ගෙන ට්‍රොබ් කියන විශ්ව විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය මා දිනා ගත්තා..

මුල්ම රැකියාව?

ඔස්ට්‍රේලියාවේ බහුජාතික සමාගමක සේවය කළා. පතල් සම්බන්ධයෙන් කටයුතු කරන ලෝකයේ ලොකුම සමාගමේ, ජාත්‍යන්තර අංශයේ ආර්ථික විද්‍යාඥයෙක් ලෙස වැඩ කළා.

එතකොට ඔබ දේශපාලනයට ආවේ කොහොමද?

මම අසූ හතේදී ලංකාවට ආවම දේශපාලනයට එන්න කියලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි ආරාධනා කළේ.

ඔබ විශ්වවිද්‍යාලයේ සිටියදී දේශපාලනයට සම්බන්ධවෙලා හිටියාද?

මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ මැතිවරණයට ඉදිරිපත් වුණා. වැඩිම ඡන්ද ගණන මට ලැබුණා. එහේ ශිෂ්‍ය සංගම් පිහිටුවන විට පවතින දේශපාලන පක්ෂවලින් තමයි නියෝජිතයෝ ඉදිරිපත් කරන්නේ. මට දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධයක් නොතිබුණ නිසා ස්වාධීනව තරග කරලා පළමුවැනියා බවට පත්වුණා. මේ බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දැනගෙන හිටපු නිසා මට දේශපාලනට එන්න කියලා කිව්වා.

ඔබ දේශපාලනයට එන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. කළුතරින් තරග කරන්න කියලා කිව්වේ කවුද?

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි කළුතරට යන්න කියලා කිව්වේ. මට කොළඹ දේවි කියලා මම හිතුවේ. කළුතර මගේ කිසිම ඥාතියෙක්වත් නැහැ, සම්බන්ධතාවක් නැහැ කියලා මම කිව්වා. එහෙම තිබියදී මම කොහොමද කළුතරට ගිහින් ඡන්ද කරන්නේ කියලා මම ඇහුවා. මගේ ආච්චිගේ ගම මතුගම, තුඩුගල, මගේ ඥාතීන් එහේ ඉන්නවා, එතැනට ගිහිල්ලා දේශපාලන ගමන ආරම්භ කරන්න කියලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා.

ජේ.ආර්. ජයවර්ධන සමග තිබුණ සම්බන්ධතාව මොකක්ද?

ඔහු මගේ දෙමාපියන්ගේ යාළුවෝ.

පොඩි කාලේ ජේ.ආර්. සමග ඔබට සම්බන්ධයක් තිබුණාද?

ඔව්. පොඩි කාලේ මම වෝඩ් ප්ලේස් එකේ ජේ.ආර්.ගේ බ්‍රිමාර් ගෙදරට යනවා. ඒ වගේම මිරිස්සේ ඔහුට ගෙදරක් තිබුණා. ඒ ගෙදර පස්සේ පිච්චිවා. ඒ ගෙදරට මම පොඩි කාලයේ යනවා.

ජේ.ආර්. ගැන පුංචි කාලයේ ඔබට තිබෙන මතක මොනවාද?

මගේ අම්මා, මම, එලීනා ජයවර්ධන මැතිනිය සමග ගමන් යනවා. ඒ කාලයේ සංචාරක ඇමැතිවරයා වුණෙත් ජේ.ආර්. ඔහුට සුදු පැහැති වාහනයක් තිබුණා. ඔහු ඉදිරි පස අසුනේ යනවා. මගේ අම්මායි, මැතිනියයි පිටුපස අසුනේ යනවා. එක වෙලාවක එතුමා එක්ක ඉස්සරහ ආසනයේ මමත් වාඩි වෙලා නිවාඩුවකට යනවා මතකයි. මම ඔස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ඇවිත් වෝඩ් ප්ලේස් ගෙදරට ගියේ උදේ කෑම වෙලාවේ. මම කෑම මේසයේ වාඩිවෙලා ඉන්න වෙලාවේ ගාමිණී දිසානායක ඇමැතිතුමා ආවා. ලොකු කුසලානයක් අරගෙන තමයි ඔහු ආවේ. ඒ කප් එක මේසයේ තියලා ලංකාව සහභාගී වෙන පළමු ජාත්‍යන්තර තරගයේදී දෙන කප් එක කියලා කිව්වා. ඕවල් පිටියේ තමයි තරගය තිබුණේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඒක දැකලා සතුටු වුණා. ඊට පස්සේ ඒ අය ඕවල් එකට යන්න සූදානම් වුණා. මටත් එන්න කිව්වම මමත් ඒ අය එක්ක ඕවල් එකට ගියා. එතකොට ගාමිණී ඇමැතිතුමා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ගාමීණී දිසානායක එක්ක ඉස්සරහ පේළියේ වාඩිවුණේ. එතකොට විපක්ෂ නායක වූ අනුර බණ්ඩාරනායක ජේ.ආර්. ජනාධිපතිතුමාගේ පිටුපස ආසනයේ හිටියේ. මමත් ජනාධිපතිතුමා එක්ක ගියපු නිසා අනුර බණ්ඩාරනායකට අල්ලපු ආසනය මට දුන්නා. ඒ වගේ දේවල් මගේ මතකයේ තවම තියෙනවා.

මුලින්ම පළාත් සභාවට කවුරුවත් නැති කළුතරින් ඉදිරිපත්වීම මොන වගේ අභියෝගයක් වුණාද?

ඒ කාලේ බස් ධාවනය නතර කරන්න රබර් ගස් කපලා පාරට දානවා. මම කළුතර ගියාම ලංකා ජාතික වතු කම්කරු සංගමයේ කළුතර දිස්ත්‍රික්කයේ විධායක සම්බන්ධීකරණ නිලධාරී වගකීම ලැබුණා. ගාමිණි දිසානායක ඇමැතිතුමා තමයි ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති වුණේ. මම මතුගම උසාවිය ඉස්සරහ පොඩි කඩ කාමරයක ඉඳගෙන තමයි වතු කම්කරුවන්ට සේවය කරන්න පටන් ගත්තේ. හරියට මේසයක් පුටුවක් නැති තැනකින් තමයි මම වැඩ පටන් ගත්තේ. මම වැඩ කරපු ආකාරයෙන් ගමට පණිවුඩයක් ගියා. ඒ නිසා මගේ කිසිම සම්බන්ධයක් නොමැතිව පැවැති දිස්ත්‍රික්කයකින් දේශපාලනය කළේ. පළමු පළාත් සභා ඡන්දයේදී මම කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු තැනට ආවා. ඒ දවස්වල රැස්වීම්වලට කලින් දවසේ ගස් කපලා පාරට දාලා තියෙනවා කියලා ආරංචි ආවම මම කණ්ඩායමක් එක්ක ගිහින් ගස් කපලා පාරෙන් අයින් කරනවා. සමහර දවස්වලට මමත් ඉලෙට්‍රික් කියත් අරගෙන ගස් කපලා පාර විවෘත කරලා තියෙනවා. මම කවදාවත් ඒ අරගලය කරපු කවුරුවත් පාවා දුන්නේ නෑ.

පුද්ගලිකව කළුතර නායකයන් ඇසුරු කළාද?

එහෙම පුද්ගලිකව මම ඇසුරු කළේ නෑ. සෝමවංශ අමරසිංහ, ටිල්වින් සහෝදරයා, විමල් වීරවංශලා, නන්දන ගුණතිලකලා වගේ ප්‍රධාන අය කළුතරින් බිහිවුණ අයනේ. හැබැයි ඒ අය දන්නවා, ඒ කාලයේදී පාවා දුන්නේ, නැතිනම් ඒ අයට විරුද්ධව පියවර ගත්තේ කවුද කියලා දන්නවා. මම එදා ඉඳලාම ප්‍රතිපත්තිමය දේශපාලනයක් කළේ.

කළුතරින් පළමු පළාත් සභාවේ පළමුවැනියා වුණාට ඔබ මුල් වරට පාර්ලිමේන්තු එන්නේ අනූ හතරේදී. අසූ අටේදී පාර්ලිමේන්තු එන්න බැරි වුණේ ඇයි?

ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තු යන්න තිබුණේ අසූ අටේදී. පළාත් සභාවේදී පළමුවැනි තැනට ඇවිල්ලා හිටියේ. රොනී ද මැල්ගේ මන්ත්‍රිධුරය හිස් වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡාවක් ගියා මාව එම මන්ත්‍රිධුරයට නම් කිරීමට. අතුරු මැතිවරණයකට නොගොස් නම් කිරීමේ හැකියාව තිබුණා. බුලත්සිංහල මන්ත්‍රිවරයා ලෙස නම් කිරීමට කීප දෙනෙක් යෝජනා කළත් සමහරු ඒකට විරුද්ධ වෙලා තිබුණා. ඒ නිසා ඒ මන්ත්‍රිධුරය හිස්ව තිබුවා.

බුලත්සිංහලින් පාර්ලිමේන්තු යන්න බැරි වුණාට ඔබ බුලත්සිංහල සංවිධායකවරයා විදියට වැඩ කළා?

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණයේදී මම බුලත්සිංහල ආසනය සංවිධානය කළා. ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරලා ඉවරවෙනකොට ඡන්ද එකසිය පනහකින් හරි දෙසීයකින් හරි පරාදයි. එතැන හිටපු අයෙක් මගේ කනට කරලා දෙවැනි ගණන් කිරීමක් ඉල්ලන්න කීවා. ප්‍රේමදාස ජනාධිපතතිතුමාගේ ඡන්ද වගයක් හංගලා තියෙනවා කියලා කිව්වා. ඒ අනුව දෙවැනි ගණං කිරීමක් ඉල්ලන්න කීවා. ඡන්ද දෙවැනි වර ගණන් කිරීමට මැතිරවණ පත්‍රිකා බන්ඩල් හලනකොට උඩ අත ලකුණ තියෙන ඒවා තිබුණා. හැබැයි ඊට යටින් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට ලැබුණ ඡන්ද. මේ වගේ බන්ඩල් හතරක් පහක් ලැබුණා. අන්තිමට ගණං කරලා බලනකොට බුලත්සිංහල ආසනය ඡන්ද තුන්සිය පනහකින් එක්සත් ජාතික පක්ෂය ජයගත්තා. කළුතර දිස්ත්‍රික්කයේ ජයගත්තේ බුලත්සිංහල ආසනය විතරයි. අනෙක් සේරම ආසන පරාද වෙලා තිබුණේ. ඒක හොඳ මතක සටහනක්.

ඒ මැතිවරණයෙන් පස්සේ තමයි ඔබට පළාත් ඇමැතිධුරයක් ලැබුණේ?

ලංකා කම්කරු කොංග්‍රසයේ දෙවැනියා විදියට හිටපු සෙල්ලසාමි අසූ අටේදී පාර්ලිමේන්තුවට ගියා. ඒ වන විට ඔහුට පළාත් සභාවේ ඇමැතිධුරයක් ලැබුණා. ඒ ඇමැතිධුරය පසුව මට ලැබුණා.

ඒත් ඔබට අසූ අටේ පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ලැබෙන්නේ නෑ. කවුද ඔබට නාම යෝජනා දෙනවාට විරුද්ධ වුණේ?

මට නාම යෝජනා ලබාදෙන්න කියලා ඉල්ලුවා. ඒ බුලත්සිංහල සංවිධායක නිසා. ඒත් ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමා මට නාම යෝජනා දෙනවාට විරුද්ධ වුණා. මහින්ද සමරසිංහ කළුතර දිස්ත්‍රික්කයේ අයෙක් නොවන නිසා දිස්ත්‍රික්කයේ හොඳ අපේක්ෂකයෙක්ට දෙන්න ඕන කීවා. නාම යෝජනා මණ්ඩලයේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉදිරියේම එම විරෝධය දැක්වූවා. ඒ වන විට ඔහු තමයි කළුතර දිස්ත්‍රික් නායක. ඔහුගේ බලවත් විරෝධය නිසාත්, ප්‍රේමදාස ජනාධිපතිතුමාට බහුතරය ගැනීමට ලලිත් ඇතුළත්මුදලි අවශ්‍ය අයෙක් නිසාත්, ඔහුගේ කීමට යටත්වුණා. එදා නාම යෝජනා මණ්ඩලයේ මට නාම යෝජනා දෙන්න ඕන කියලා ප්‍රේමදාස ජනාධිපතිතුමා ලොකු සටනක් කළ බව මතකයි. ඒකත් එක්ක තමයි පළාත් සභාවේ ඇමැතිකම ලැබුණා. පසුව අනූ හතරේදී තමයි මුල් වරට පාර්ලිමේන්තුවට ආවේ.

මේ කාලයේදී නේද ඔබ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුවට පත් වෙන්නේ?

ඒ කමිටුවේ ආසියා – පැසිපික් නියෝජිතයා පත් කිරීමට ඡන්දයක් තිබුණා. මට මේකට ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීම නොයෙක් රටවලින් ආවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් කතා කරලා මම ඒ ඡන්දයට ඉදිරිපත් වුණා. ඒ කාලේ චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවක් තිබුණේ. විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් නිසා මට සහාය දීමට ඒ අය කැමැති වුණේ නෑ. ඒ නිසා මාත් එක්ක තරග කරන්න තවත් මන්ත්‍රිවරයෙක් දැම්මා. මංගල සමරවීර ඇමැතිවරයා තමයි ඒ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ. බ්‍රසල්ස් නුවර තමයි ඡන්දය තිබුණේ. ඒ වෙලාවේ මට ඡන්ද එකසිය හැට දෙකක් ලැබුණා. මාත් එක්ක තරග කළ ආණ්ඩුවේ මන්ත්‍රිවරයාට ලැබුණේ ඡන්ද නමයයි. අද මැලේසියාවේ ඉන්න අගමැති අන්වර් ඊබ්‍රහිම්, මහතීර් මොහොමඩ් අගමැතිවරයා විසින් හිරේ දාලා තිබුණා. ඔහු වෙනුවෙන් යෝජනාවක් අනුමත කරගෙන ඔහු නිරීක්ෂණය කිරීමට ගියා. එවකට හිටපු රජය ඔහු තනිවම හමුවීමට අවස්ථාව දුන්නේ නෑ. අද මම මැලේසියාවට ගිහින් අගමැතිතුමා හමුවුණොත් ඒ සටන මතක් කරලා දෙන්න පුළුවන්. බෙනාසීර් බූතෝගේ සැමියා හිර කළාම මම ඒ වෙනුවෙන් පෙනී සිටියා.

ඔබ බටහිර පන්නයට අඳින පලඳින, ඉංග්‍රීසියෙන් කතා කරන අයෙක්. එහෙම අයෙක්ට තමයි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කම්කරු ඇමැතිධුරය ලැබෙන්නේ?

ඒ කාලේ ෆුල් සූට් අඳින්නේ. කම්කරු ඇමැතිවරයා විදියට යන්නේ ටයි පටියක් පැලඳගෙනයි. බාලා තම්පෝ වගේ කම්කරු නායකයෝ මාත් එක්ක සුහදව කටයුතු කළාට හාම්පුතුන්ගේ ඇමැතිවරයා කියලයි කියන්නේ. ඔබ කම්කරු ඇමැති නෙමෙයි, හාම්පුතුන්ගේ ඇමැති කියලා තමයි ඒ අය මට කියන්නේ. මම කම්කරු ඇමැතිවරයා විදියට කම්කරුවන්ට සහන දීමට පනත් වෙනස් කළා.

ඉන් පසුව ඔබ 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එකතු වෙනවා?

මම 2001 සිට 2005 දක්වා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ. ජනාධිපතිවරණයෙන් පස්සේ යුද්ධයක් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම් වන විට මානව හිමිකම් ප්‍රශ්නය උඩට එනවා කියලා දැක්කා. ඒ වෙලාවේදී ජාත්‍යන්තරයෙන් ලොකු බලපෑමක් එන බව මම දැනගත්තා. ඒවාට මුහුණ දීමට ජාත්‍යනත්ර දැනුමක් ඇති අයෙක් සිටිය යුතු යැයි මම හිතුවා. ඒ අනුව මාව කැබිනට් මණ්ඩලයට ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම් වුණා.

මොකක්ද ඔබට මුලින්ම දෙන්න හදපු ඇමැතිකම?

ගුවන් සේවා ඇමැතිකම තමයි මුලින්ම දෙන්න හැදුවේ. මට මානව හිමිකම් ඇමැතිකම හා ආපදා කළමනාකරණ ඇමැතිකම දෙන්න කියලා ඉල්ලුවා.

ඔබ ආණ්ඩුවට ගියේ හොර රහසේමද?

මම ඇමැතිකම ගන්න කලින් පස්වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරට ගිහින් ඔහු හමුවුණා. එතකොට මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මම යන්න අදහස් කරලා තියෙනවා, ඔබතුමාට ඒ බව කියන්න ආවා කියලා කිව්වා. ඔබ යන එක ගැන මට දුකයි, ඔබ ගියොත් විපක්ෂයේ සංවිධායක ධුරය තවදුරටත් දරන්න වෙන්නේ නෑ කියලා ඔහු කිව්වා. මම ඇමැතිකමක් අරගන්නවා කියලා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක එකතු වුණේ. ඒ දවස්වල ජිනීවා ගිහිල්ලා ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ මම.

යුද්ධය අවසන් කාලයේදී යුද්ධය නතර කරන්න කියලා ජාත්‍යන්තරයෙන් ආපු පීඩනය මොන වගේද?

ලොකු පීඩනයක් ලැබුණා. එක වෙලාවක එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාඩක් ලංකාවට අරගෙන එන්න හැදුවා. ඒක ගේන්න දුන්නා නම් යුද්ධය නතර වෙනවා. ප්‍රභාකරන් තාම ඉන්නවා. අපේ රට බෙදිලා යන්න තිබුණා. ඒවා කරන්න අපි ඉඩ දුන්නේ නෑ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එන්න කලින් ඒ යෝජනා පරාජයට පත් කළා.

ඔබ එල්ටීටීඊයේ ප්‍රහාරවලට ලක්වුණෙත් මේ කාලයේදී නේද?

මඩකලපුවට තානාපතිවරුන් දාහත් දෙනෙක් එක්ක යනකොට අපිට එල්ටිටීඊය මෝටාර් ගැහුවා. අපි බොහෝම අමාරුවෙන් බේරුණේ. මම ඝාතනය කරන්න මරාගෙන මැරෙන කොටියෙක් මගේ නිවස ඉදිරියට එවලා තිබුණා.

ඒ කාලේ ගනුදෙනු කරන්න අමාරුම තානාපතිවරු කවුද?

බටහිර රටවල් සියල්ලම එක කණ්ඩායමක් විදියට තමයි හිටියේ. එක්කෙනෙක් විතර අපිට විරුද්ධව හිටියා කියන්න බෑ. යුද්ධය නතර කරන්න ඕන කියලා බටහිර රටවල් එක ස්ථාවරයක හිටියා. ජිනීවා නුවරදී අපි විශාල සටනක් කළා රට වෙනුවෙන්.

ඔබ තානාපතිවරයෙක් විදියට වගේම ඇමැතිවරයෙක් විදිටයත් ජිනීවා එක්ක ළඟින් වැඩ කළා. අයිමත් ජිනීවා යන්න හිතක් නැද්ද?

ජිනීවාවල ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. අන්තවාදී කොටස්වල න්‍යායපත්‍රය ක්‍රියාත්මක වෙනවා. ජිනීවා වගේ තැනක් දුන්නොත් මම සලකා බලනවා. මොකද හැම වෙලාවකම මට ඕන රටට සේවයක් කරන්න. ඒක ආණ්ඩුව අතේ තියෙන දෙයක්. මගේ සම්බන්ධතාවලින්, පළපුරුද්දෙන්, හැකියාවන්වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතනවා නම් යෝජනාව ආණ්ඩුව පැත්තෙන් එන්න ඕන දෙයක්. මට තවමත් වැඩ කිරීමේ ශක්තිය හා වුවමනාව තිබෙනවා.

අයිමත් පක්ෂ දේශපාලනය කරන්නේ නැද්ද?

මම අයිමත් දේශපාලනය කරන්න අදහසක් නෑ. වෘත්තීය පැත්තෙන් දෙයක් කරන්න ලැබුණොත් මම කරනවා.

මෙහෙම ගිහිල්ලා ඔබ 2029 පොදු අපේක්ෂකයා බවට පත්වේවිද?

මට එහෙම සිහිනයක් නෑ. මම දේශපාලනයෙන් ඈත් වෙනවා කියලා කිව්වට පස්සේ අයිමත් ඒ ගැන හිතන්නේ නෑ. මම මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක්ක හොඳට වැඩ කළා. ඉස්සරහටත් වැඩ කරන්න පුළුවන්.

Popular Articles