spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

2029ට තරඟය පටන් ගන්නේ ඡන්දයෙන් නෙවෙයි,අදින්.

2029 දී තරග වැදීමට ජනතා විමුක්ති පෙරමුණට වඩා ශක්තිමත් විකල්පයක් අවශ්‍යයි.ඒ විකල්ප දේශපාලන මානය මතුවෙමින් පවතින කාලයයි මේ.මාලිමා ආණ්ඩුව විසින්, කැමති වුණත් අකමැති වුණත්, එවැනි තරග බිමක් නිර්මාණය කර අවසන්. දැන් ඉතිරිව ඇත්තේ ඒ අවකාශය නිවැරදිව හඳුනාගන්නා පුද්ගලයා හෝ දේශපාලන ව්‍යාපාරය කවුද යන්නයි.

ඒ සමඟම තවත් වැදගත් දෙයක් සිදුවෙමින් තිබෙනවා.කෙළින් ඉරක් ගසා දේශපාලන මතවාද වෙන්වන කාලයකුයි මේ පැමිණ ඇත්තේ…

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ ගැනත්, ඇය අනුරාධපුර රැලියට එක්වීම ගැනත් කතාබහක් ඇතිව තිබෙනවා.වෙනත් දේශපාලන මතයක සිටින කෙනෙක් වුණත්, ඇය දේශපාලන වේදිකාවකට නැගීමේ වරදක් මම දකින්නේ නැහැ.නමුත් කාන්තාවක් විදිහට මට ඊට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.ලිමිණි රාජපක්ෂ, නාමල් රාජපක්ෂගේ බිරිඳ ලෙස පමණක් නොව, “ලිමිණි වීරසිංහ” ලෙස ඇයගේම දේශපාලන අනන්‍යතාවයකින් මැතිවරණ වේදිකාවකට පැමිණෙන දවස කවදාද?

ඒ ප්‍රශ්නය ලිමිණිට විතරක් නොවෙයි.අද විපක්ෂයේ සිටින සෑම දේශපාලන පක්ෂයකටම එල්ල වන ප්‍රශ්නයක්.

රනිල් වික්‍රමසිංහ නොමැතිව එක්සත් ජාතික පක්ෂයක් තිබිය නොහැකිද?සජිත් ප්‍රේමදාස නොමැතිව සමගි ජන බලවේගයක් තිබිය නොහැකිද?රාජපක්ෂවරුන් නොමැතිව පොහොට්ටුවක් ඉදිරියට යා නොහැකිද?

දේශපාලන පක්ෂයක් යනු එක් පුද්ගලයෙකුගේ දේපළක් නොවිය යුතුයි.පක්ෂයක ශක්තිය මැනිය යුත්තේ එහි නායකයා කොතරම් බලවත්ද යන්නෙන් නොව, නායකයා නොමැති දවසක පක්ෂය කොතරම් ශක්තිමත්ව ඉදිරියට යා හැකිද යන්නෙනුයි.එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට නායකත්වය මාරු වීම දේශපාලන පක්ෂයක දුර්වලතාවයක් නොවෙයි.ඒක පක්ෂයක පරිණතභාවයයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගෙන් පසුව මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉදිරියට පැමිණීමට අවකාශය ලැබුණා සේම, ආර්. ප්‍රේමදාසගෙන් පසුව රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණීමට අවස්ථාව ලැබුණා නම් අද අපට අවශ්‍ය වන්නේ එක් එක් පක්ෂය තුළ දෙවැනි පෙළක් නොව, තුන්වැනි පෙළක් දක්වාම නායකත්වය නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියක්.පක්ෂයක සිටින උගතුන්ට, බුද්ධිමතුන්ට, වෘත්තීයවේදීන්ට, තරුණ නායකයන්ට සහ කාන්තා නායකයන්ට පසුපෙළේ සිට ඉදිරිපෙළට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු කාලය මේ නොවේද?

එහෙම වුණා නම්,නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමක් දේශපාලන පක්ෂයක අනාගතය පිළිබඳ භීතියක් බවට පත් නොවනු ඇත.ලිමිණි රාජපක්ෂ රැලියක් ඇමතීම කිසිවෙකුට කලබල වීමට හේතුවක් නොවනු ඇත.රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත්වීම එක්සත් ජාතික පක්ෂයේ අවසානය නොවනු ඇත.සජිත් ප්‍රේමදාස නොසිටීම සමගි ජන බලවේගයේ අවසානය නොවනු ඇත.ඒ තමයි ශක්තිමත් දේශපාලන පක්ෂයක ලක්ෂණය.

2029 තරගය තීරණය කරන්නේ කවුද වැඩිපුරම ජනප්‍රිය නායකයා කියන එක පමණක් නොවෙයි.නායකයන් පසුපස යන දේශපාලනයෙන්, නායකයන් නිර්මාණය කරන දේශපාලනයකට මාරුවීමට හැකි කවුද කියන එකයි.ඒ වෙනස හඳුනාගෙන, තමන්ගේ දෙවැනි පෙළ පමණක් නොව අලුත් පරම්පරාවක් අදම නිර්මාණය කරන පක්ෂයට තමයි හෙට දේශපාලන ධාරාවේ සැබෑ බලය හිමිවන්නේ.

මොකද,පක්ෂයක් යනු නායකයෙක් නොවේ.
පක්ෂයක් යනු පරම්පරා ගණනක් පවත්වාගෙන යා හැකි දේශපාලන අදහසකි.

ඒ නිසා…

2029ට තරගය පටන් ගන්නේ ඡන්දයෙන් නෙවෙයි.අදින්.

✍️💚ශ්‍යාමා නිල්මිණි…

Popular Articles