Home Blog Page 23

“CCTV දර්ශනවලින් දඩ ගහලා” කියන SMS/WhatsApp පණිවිඩ ආවද? රියදුරන් ඉලක්ක කරගත් අලුත්ම මූල්‍ය වංචාව මෙන්න!

0

රථවාහන වැරදි සඳහා CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින් රියදුරන් මුලා කරන නවතම මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.
වංචාකරුවන් විසින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් SMS හෝ WhatsApp හරහා මෙම ව්‍යාජ පණිවිඩ ජනතාව වෙත යොමු කරනු ලබයි.

ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය ?

  • ව්‍යාජ පණිවිඩය: අදාළ රියදුරා සිදුකළ රථවාහන වරදක් CCTV මඟින් නිරීක්ෂණය වී ඇති බවත්, ඒ සඳහා දඩ මුදල් ගෙවිය යුතු බවත් පණිවිඩයේ දැක්වේ.
  • ව්‍යාජ සබැඳිය (Link): දඩ මුදල ගෙවීම සඳහා වංචාකරුවන් විසින් https://thecourierguy.eu.cc/lk නැමැති සබැඳියක් පරිශීලකයන් වෙත ලබා දෙයි.
  • ව්‍යාජ වෙබ් අඩවිය: මෙම සබැඳිය ක්ලික් කළ විට විවෘත වන්නේ රජයේ නිල ‘Gov Pay’ වෙබ් අඩවියට බෙහෙවින් සමාන ලෙස සකස් කළ ව්‍යාජ අඩවියකි. එහි වාහන අංකය ඇතුළත් කළ පසු බොරු රථවාහන වැරදි වාර්තාවක් ද පෙන්වනු ලැබේ.
  • දඩය ගෙවීමට යාමේදී පරිශීලකයාගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් (Credit/Debit Card) තොරතුරු ඇතුළත් කරවා ගෙන, බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම මෙහි අවසාන ඉලක්කයයි.

මැදපෙරදිග අර්බුදය හමුවේ ලංකාවේ උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක්, මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්!

0

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ සෘජු බලපෑම හේතුවෙන් මෙරට උද්ධමනය සියයට 7ක මට්ටමක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

පසුගිය (01) දා රාත්‍රියේ විකාශය වූ ‘ටීවී දෙරණ 360’ කාලීන වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

මැදපෙරදිග ගැටුම් කෙටි කලකින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ ද, එය දිග්ගැස්සීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහස් කෙටියෙන්,

මේ වන විට උද්ධමනය 5.4% – 5.5% මට්ටමක පැවතුණ ද, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එය ඉදිරියේදී තවත් වැඩි වීම අනිවාර්ය වේ. පරිභෝජනයේ අඩුවක් සිදුනො වුවහොත් උද්ධමනය 7% දක්වා ඉහළ යා හැකිය.

පවතින අවදානමට පෙර සූදානමක් ලෙස පසුගිය සතියේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුව පියවර ගත්තේය. එමඟින් ඉදිරි මාස තුන තුළ වෙළෙඳපොළ ඉල්ලුම පාලනය කර උද්ධමනය ඉහළ යාම වැළැක්වීමට අපේක්ෂිතය.

මෙරට පවතින මුදල් විශුද්ධිකරණ විරෝධී නීති පද්ධතියට අනුකූලව, නීත්‍යානුකූලව උපයාගත් ඕනෑම මුදලක් බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ද අධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. කෙසේ වෙතත්, නීතිවිරෝධී මුදල් රටට එවීම කළ නොහැකි වනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් – අද රාත්‍රියේ සිට අයදුම් කළ හැකියි !

0

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම සඳහා වූ 2026.05.29 දිනැති ගැසට් පත්‍රය සහ ඒ සඳහා මාර්ගගතව (Online) අයදුම් කිරීමේ සබැඳිය අද (ජූනි 01) රාත්‍රියේ සිට www.health.gov.lk නිල වෙබ් අඩවියේ පළ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

මෙම බඳවා ගැනීම සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය,

  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
  • 2021, 2022, 2023 හෝ 2024 යන වර්ෂවල පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ජීව විද්‍යාව (Biology) හෝ භෞතික විද්‍යාව (Physics) විෂයයන් හදාරා තිබීම.
  • අදාළ ගැසට් පත්‍රයේ දක්වා ඇති අනෙකුත් සුදුසුකම් සපුරා තිබීම.

වැඩිදුර තොරතුරු සඳහා අද රාත්‍රියෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස අමාත්‍යාංශය දන්වා සිටියි.

වත්මන් ඉන්ධන මිල ඉහළ යෑම ගෝලීය බලපෑමක්: ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අසිත නිරෝෂන්ගෙන් පැහැදිලි කිරීමක්

0

වත්මන් බලශක්ති අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යෑම රට අභ්‍යන්තරයේ පාලකයන් ගත් තීරණ හේතුවෙන් සිදු වූ බිඳවැටීමක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය ලෝකයේ පවතින යුදමය තත්ත්වය සහ පවතින ගෝලීය බලපෑම් හේතුවෙන් නිර්මාණය වූ තත්ත්වයක් බවයි.

ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දියාව, සිංගප්පූරුව සහ වියට්නාමය වැනි ශක්තිමත් ආර්ථිකයන් සහිත රටවලට පවා මෙම ගෝලීය බලපෑම දැඩි ලෙස බලපා ඇති බවයි. විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාව පසුගිය සති කිහිපය තුළදී අවස්ථා හතරකදී ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත් බවත්, එරට මුදල් ඒකකය වන ඉන්දීය රුපියල වේගයෙන් අවප්‍රමාණය වූ බවත් ඔහු සිහිපත් කළේය.

ලෝක මට්ටමින් සිදුවන මෙම මිල ඉහළ යෑම පාලනය කිරීමට හෝ වැළැක්වීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එබැවින්, පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ රජයට සිය කටයුතු සිදු කරගෙන යෑම සඳහා යම් අවස්ථාවක් ලබා දෙන ලෙස අසිත නිරෝෂන් මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

රටේ ආර්ථික වර්ධනය 3% දක්වා පහත වැටී ඇති බව හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි

0

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 දක්වා පහත වැටී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600කට අධික මුදලක් ලබා දීමට තීරණය කර ඇති පසුබිමක අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වත්මන් ආර්ථික ක්‍රියාපිළිවෙල තුළින් “පොහොසත් රටක්” නිර්මාණය වීම වෙනුවට සිදුවන්නේ ජනතාව තවදුරටත් දරිද්‍රතාවය තුළ රඳවා තැබීමක් බවයි.

ආර්ථික වර්ධනය මන්දගාමී වීමට ප්‍රධානතම හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්ති නිසි ලෙස ලිහිල් නොකිරීමයි. ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම්, පවතින පැරණි පටු මානසිකත්වයෙන් බැහැර විය යුතු බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය විසින් හඳුන්වා දුන් “බ්ලූප්‍රින්ට්” වැඩපිළිවෙලෙහි අඩංගු උපායමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ රාජ්‍ය ණය කළමනාකරණය සහ මූල්‍ය විනය හේතුවෙන් යම් ස්ථාවරත්වයක් රට තුළ ඇති වූ බව මන්ත්‍රීවරයා පිළිගත්තේය. කෙසේ වෙතත්, වත්මන් රජයට එම ස්ථාවරත්වය මත පමණක් පදනම්ව කටයුතු කළ නොහැකි බවත්, දරිද්‍රතාවයෙන් ජනතාව මුදවා ගැනීමට නම් ආර්ථිකය ඉතා ඉහළ වේගයකින් වර්ධනය විය යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා චෝදනා කළේය.

ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

0

දිවයිනේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (01) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරුවේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ඉරාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

0

පර්සියානු බොක්ක කලාපයේදී ඉරාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඇමරිකානු හමුදාවට අයත් ‘MQ-1 Predator’ වර්ගයේ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් බිම හෙළා තිබේ. ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙම යානය නිරීක්ෂණය කිරීමෙන් පසු උසස් මතුපිට සිට ගුවනට විදින මිසයිල ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කළ බව IRGC මාධ්‍ය අංශය නිවේදනය කරයි.

තම දේශසීමා මුහුදු සීමාවට ඉහළින් ඇති ගුවන් සීමාව ඉරාන ගුවන් ආරක්ෂක ඒකකවල පූර්ණ පාලනය යටතේ පවතින බව IRGC බලකාය අවධාරණය කරයි. ඕනෑම ආකාරයක අනවසර ඇතුළුවීමකට දැඩි සහ ක්ෂණික ප්‍රතිචාර දක්වන බවට ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.

මෙම සිදුවීමට පෙර දින එනම් සෙනසුරාදා දින, කේෂ්ම් දූපතට ඉහළින් පියාසර කළ “US-Zionist” සතුරන්ට අයත් බව පැවසෙන ‘Orbiter’ වර්ගයේ කුඩා ඩ්‍රෝන යානයක් ද ඉරාන ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව විනාශ කරනු ලැබීය. රටේ ඒකාබද්ධ ගුවන් ආරක්ෂක මූලස්ථාන ජාලය යටතේ ක්‍රියාත්මක වන පද්ධති මඟින් මෙම යානා දෙකම බිම හෙළීමට හැකි වූ බව ඉරාන හමුදා මාධ්‍ය අංශය තහවුරු කරයි.

14 හැවිරිදි දැරියක් අපයෝජනය කළ මවුලවිවරයෙක් කොටු වෙයි!

0

14 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව මත 21 හැවිරිදි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම අපරාධයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ වීරගම ප්‍රදේශයේම පදිංචි තවත් 21 හැවිරිදි සැකකරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු අපරාධය සිදු කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී, පසුගිය මැයි 20 වන දින නීතිඥවරයෙකු මාර්ගයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ජුනි 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අපරාධයට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ අනෙක් සැකකරු ද පසුගිය මැයි 09 වන දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මීගොඩ දන්සැල් පෝලිම ලේ විලක් වෙයි, කැබ් රථයක් කඩා වැදී 6ක් මරුට, තවත් 4ක් රෝහලේ

0

මීගොඩ – බැද්දෙගෙදරමුල්ල ප්‍රදේශයේ පැවති රොටි දන්සලක් අසලදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (31) මධ්‍යම රාත්‍රියට ආසන්නව සිදුවූ මෙම අනතුරින් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය අය අතර පාදුක්ක – තුන්නාන ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු, පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු වන බව පොලිසිය තහවුරු කරයි. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුකර පලාගිය කැබ් රථය සහ එහි රියදුරු ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගොඩ පොලිසිය විසින් පවත්වනු ලබයි.

ඉරාන සාම ගිවිසුම අවිනිශ්චිතයි: ට්‍රම්ප්ගෙන් නව යෝජනා මාලාවක් සහ න්‍යෂ්ටික අවි පිළිබඳ සහතිකයක්

0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ පවතින ගැටුම් සමථයකට පත් කිරීම සඳහා “වඩා දැඩි” සාම යෝජනා මාලාවක් ටෙහෙරානය වෙත යොමු කර තිබේ. ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකරන බවට තමන් සහතිකයක් ලබාගෙන ඇති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළද, දෙපාර්ශවය අතර පවතින ප්‍රධාන මතභේද හේතුවෙන් සාම ගිවිසුමකට එළඹීමේ ක්‍රියාවලිය තවදුරටත් මන්දගාමී වී ඇත.

ඇමරිකාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ න්‍යෂ්ටික අවි නිපදවීම වැළැක්වීම සහ හෝර්මූස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා ඉවත් කර නැවත නාවික ගමනාගමනය විවෘත කිරීමයි. කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ අත්හිටවූ ඇමරිකානු ඩොලර් බිලියන 12ක වත්කම් මුදාහැරිය යුතු බවයි. මීට අමතරව, ලෙබනන් යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලියට ලෙබනනයද ඇතුළත් කළ යුතු බව ටෙහෙරානය අවධාරණය කර සිටී.

මේ අතර, ඊශ්‍රායලය ලෙබනනය තුළ සිය ගොඩබිම් ආක්‍රමණය පුළුල් කර ඇති අතර, ලෙබනන් අගමැතිවරයා ඊශ්‍රායලයට චෝදනා කරන්නේ “සම්පූර්ණ විනාශ කිරීමේ ප්‍රතිපත්තියක්” (scorched-earth policy) අනුගමනය කරන බවයි. ගිවිසුමක් සඳහා ට්‍රම්ප් උනන්දුවක් දැක්වුවද, ඔහු මෑතකදී අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් සාම ගිවිසුමක් සඳහා කිසිදු හදිසියක නොමැති බවත්, අවශ්‍ය වුවහොත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට ඇමරිකාව සූදානම් බවත්ය.