Home Blog Page 55

ලෝක බොරතෙල් මිල විශාල අගයකින් පහළට

0

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කළ බව ඉරානය ප්‍රකාශ කිරීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ සැලකිය යුතු මිල පහළ යාමක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය අනුව, බොරතෙල් මිල 10%කට වැඩි අගයකින් පහළ වැටී ඇති අතර, එය වෙළෙඳපොළ තුළ පැවති සැපයුම් අවදානම් අඩුවීමක් ලෙස විශ්ලේෂණය කෙරේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88 දක්වා පහත බැස ඇති අතර, West Texas Intermediate (WTI) බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 84 දක්වා අඩු වී තිබේ.

වෙළෙඳ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, හෝමූස් සමුද්‍ර මාර්ගය සම්බන්ධ අස්ථිරතාවය අඩුවීම ගෝලීය තෙල් සැපයුම් ස්ථාවරත්වයට සෘජු බලපෑමක් සිදු කළ බවයි.

උත්සව සමය අවසන් වෙයි, QR පද්ධතිය යළි ඉන්ධන නිකුත් කිරීමේදී

0

පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR පද්ධතිය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලපැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ( Ceylon Petroleum Corporation ) දැනුම් දෙයි.

එහි සභාපති D. J. රාජකරුණා මහතා සඳහන් කර ඇත්තේ, පෙර පැවති ක්‍රමවේදයම යටතේ පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටා ලබාදීම සිදුකරන බවයි.

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට QR ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, එම කාලය තුළ “ඔත්තේ–ඉරට්ටේ” (Odd–Even) ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කෙරුණි.

කෙසේ වෙතත්, අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR පද්ධතිය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බව සංස්ථාව තහවුරු කරයි.

ලාල්කාන්තගේ වත්කම් ගැන සැකයක් අල්ලස් කොමිසමෙන් විමර්ශන ඉල්ලීමක්

0

K. D. ලාල්කාන්ත මහතාගේ වත්කම් හා බැරකම් පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ( Commission to Investigate Allegations of Bribery or Corruption ) වෙත ඊයේ (17) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ චමල් සංජීව මහතා විසිනි.

ඔහු වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

2024 සහ 2025 වසරවලට අදාළව අමාත්‍යවරයා විසින් පසුගිය දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් සහ විවාද ඇති කර තිබේ.

එහි සඳහන් කර ඇති පරිදි රුපියල් කෝටි 6.7කට අධික වටිනාකමකින් යුත් නිශ්චල දේපළ ඔහු සතු බව ප්‍රකාශ කර තිබේ.

එහෙත්, මීට පෙර තම පෞද්ගලික වියදම් පවා පියවා ගැනීම දුෂ්කර බවට කළ ප්‍රකාශයක් සමඟ එය ගැළපේද යන්න පිළිබඳ සමාජයේ විවිධ ප්‍රශ්න මතුව ඇති බව වාර්තා වේ.

මෙම පසුබිම යටතේ විධිමත් විමර්ශනයක් ආරම්භ කර තත්ත්වය පැහැදිලි කරන ලෙස ඉල්ලා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මැයි මාසය තුළත් අඛණ්ඩ ගෑස් සැපයුමට ලිට්‍රෝ සමාගමෙන් සහතිකයක්

0

අප්‍රේල් 16 වැනිදා සිට දිවයින පුරා ගෑස් සිලින්ඩර පිරවීම හා බෙදාහැරීමේ කටයුතු යළිත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව Litro Gas Lanka Ltd සමාගම ප්‍රකාශ කරයි.

පසුගිය උත්සව සමයේ ඉහළ ගිය පාරිභෝගික ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් උපරිම ධාරිතාවයෙන් වෙළඳපොළට ගෑස් නිකුත් කළ බවද එම සමාගම සඳහන් කරයි.

එම සැපයුම් ක්‍රියාවලිය උත්සව සමයෙන් පසුව ද අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇති බව ඔවුන් පවසයි.

මැයි මාසය තුළ කිසිදු බාධාවකින් තොරව සැපයුම් සිදු කිරීමට අවශ්‍ය ගෑස් තොග මේ වන විට සුරක්ෂිතව තබා ඇති බවද සමාගම තහවුරු කරයි.

අප්‍රේල් සඳහා ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 20,500ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර, තවත් මෙට්‍රික් ටොන් 17,500ක් ඉදිරියේදී ලැබීමට නියමිතය.

එමෙන්ම, දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින බලා ගමන් කරන මෙට්‍රික් ටොන් 20,000ක ගෑස් රැගත් නෞකාවක් ද ඉදිරි දිනවලදී සැපයුම් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විට කිසිදු හිඟයක් නොමැති බවත්, පාරිභෝගිකයන්ට නිසි ලෙස ගෑස් ලබාදීමට හැකි බවත් සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.

කාන්තාවකගේ හිසකෙස් බලහත්කාරයෙන් කැපූ සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට

0

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ කාන්තාවකට පහරදී ඇගේ හිසකෙස් බලහත්කාරයෙන් කපන ලද සිද්ධියකට සම්බන්ධව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වීමෙන් අනතුරුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පසුව, වින්දිත කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගෙන ඇය වෛද්‍ය පරීක්ෂාවක් සඳහා රාගම ශික්ෂණ රෝහලට යොමු කර ඇත.

වැඩිදුර පරීක්ෂණවලදී, වයස අවුරුදු 27ක් වන ප්‍රධාන සැකකරු සමඟ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වන අනෙකුත් සැකකරුවන් හතර දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමලය සහ චිනවර ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබේ.

සියලු සැකකරුවන් 2026 අප්‍රේල් 18 දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.

ගල්අඟුරු ආනයනයේ අක්‍රමිකතා තිබේ නම් සාක්ෂි ඉදිරිපත් කරන්න – විජිත හේරත්

0

ගල්අඟුරු ආනයනයට අදාළව සිදුව ඇතැයි කියන ඕනෑම අක්‍රමිකතාවක් හෝ දූෂණයක් පිළිබඳ තොරතුරු, දත්ත හෝ සාක්ෂි මහජනතාව සතු වන්නේ නම්, ඒවා අලුතින් පිහිටුවන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා අද (17) මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

මෙම විමර්ශන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම රජයේ අරමුණ බවත්, ඒ සඳහා ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි බවත් ඔහු අවධාරණය කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, නොරච්චෝලේ බලාගාරය ආරම්භ කළ 2009 වසරේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද සියලුම ගල්අඟුරු නැව් සහ ඒ ආශ්‍රිත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මෙම කොමිසම හරහා විමර්ශනය කෙරෙන බවයි.

“නොරච්චෝලේ බලාගාරය වෙනුවෙන් මේ දක්වා නැව් 465ක් පමණ ආනයනය කර තිබෙනවා. මීට පෙර පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සියඹලාපිටිය වැනි හිටපු අමාත්‍යවරුන් පවා පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණා ගල්අඟුරු ආනයනයේදී වංචා සහ අක්‍රමිකතා සිදුව ඇති බව.

ඒ නිසා 2009 සිට මේ දක්වා වූ සම්පූර්ණ කාලයම ආවරණය වන පරිදි විධිමත් පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමේ වගකීමයි.”

එමෙන්ම විගණන පරීක්ෂණ, කෝප් කමිටු විමර්ශන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණවලටත් වඩා එහා ගිය, මහජනතාවට සෘජුව සම්බන්ධ විය හැකි විවෘත යාන්ත්‍රණයක් අවශ්‍ය වූ බැවින් 1978 අංක 04 දරන පනත යටතේ මෙම විශේෂ ජනාධිපති කොමිසම පත් කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසම මාස 6ක් ඇතුළත සිය වාර්තාව ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර වත්මන් රජය යටතේ සිදු වූ ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සෘජුව වංචාවකට සම්බන්ධ බවට විශ්වාසභංගයේදී හෝ විගණන වාර්තාවලින් මෙතෙක් තහවුරු වී නොමැති බව පැවසූ විජිත හේරත් මහතා, අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වූයේ මෙම කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය තහවුරු කිරීමට බව පෙන්වාදෙනවා.

මෙම කොමිසමේ නිර්දේශ මත පදනම්ව ඕනෑම තරාතිරමක වැරදිකරුවෙකුට එරෙහිව රටේ නීතිය අනුව ක්‍රියා කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරනය කළා.

අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවේ විශේෂ යෝජනාවක් මගින් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ජනතාවට වගකියන ආණ්ඩුවක් ලෙස දූෂණය සහ වංචාව මුළුමනින්ම තුරන් කිරීමට රජය කැපවී සිටින බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කොළඹට අමතර දුම්රිය ගමන් වාර 18 සහ 19 දිනවලට

0

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු කොළඹ වෙත පැමිණෙන මගී ජනතාවගේ පහසුව සලසා දීම සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, 2026 අප්‍රේල් 18 සහ 19 යන දිනවලදී මෙම අමතර දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව කොළඹ කොටුව සිට අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර, බෙලිඅත්ත සහ බෙලිඅත්ත සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට නියමිතය.

මෙම දුම්රිය සේවාවන් සාමාන්‍ය ගමන් වාරවලට අමතරව යොදා ඇති අතර, වැඩිවන මගී තදබදය අඩු කිරීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කර තිබේ.

ගල්අඟුරු ගනුදෙනු විමර්ශනයට ඉඩ දීමට අමාත්‍ය හා ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

0

කුමාර ජයකොඩි මහතා සහ බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත.

ඔවුන් දෙදෙනා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපි අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ.

ගල්අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත විශේෂ ජනාධිපති කොමිසම් විමර්ශනයක් අපක්ෂපාතීව හා ස්වාධීනව පැවැත්වීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනය ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා බාධාවකින් තොර පරිසරයක් ඇති කිරීම සඳහා ඔවුන් මෙලෙස ධුරයන්ගෙන් ඉවත් වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.

නාවික මෙහෙයුමකින් රු. කෝටි 400කට අධික හෙරෝයින් තොගයක් අත්අඩංගුවට

0

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මුහුදු මෙහෙයුමකදී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝග්‍රෑම් 150කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය අද (17) දික්ඕවිට ධිවර වරාය වෙත රැගෙන ආ අවස්ථාවේදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ, ඊයේ (16) ශ්‍රී ලංකාවට දකුණු දිශාවෙන් නාවික සැතපුම් 400කට පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයක සිදුකළ මෙහෙයුමකදී දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම ජාවාරම දිගු කාලයක් පුරා ක්‍රියාත්මක වූ එකක් බවත්, ශ්‍රී ලංකා පොලිසිය, මත්ද්‍රව්‍ය විමර්ශන අංශ සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ තොරතුරු හුවමාරුව කරමින් මෙවැනි මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

තවද, පසුගිය වසරේ නාවික මෙහෙයුම් මගින් සොයාගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන 75,000කට අධික බවත්, මෙම වසරේ ජනවාරි මාසයෙන් පසු සොයාගත් ප්‍රමාණය රුපියල් මිලියන 50,000කට වැඩි බවත් අනාවරණය විය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සමාජයට දැඩි හානියක් සිදු කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවැනි ජාවාරම් සම්පූර්ණයෙන් නතර කිරීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.