මෙරට ගැබිණි මව්වරුන් පරීක්ෂා කිරීමේ සහ දරුවන්ට රෝග වැළඳීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple Elimination) ජාතික වැඩසටහන එළඹෙන ජුනි මස 01 වැනිදා සිට දිවයින පුරා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම වැඩසටහනේ ප්‍රධානතම අංගය වන්නේ මෙතෙක් මූලික පරීක්ෂණ පද්ධතියට ඇතුළත් නොවූ හෙපටයිටීස් – බී (Hepatitis-B) රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණය, ගැබිණි මවක් ලියාපදිංචි වන අවස්ථාවේදීම සිදුකිරීමට පියවර ගැනීමයි.
මීට පෙර මෙරට ක්‍රියාත්මක වූයේ HIV සහ සිපිලිස් (Syphilis) රෝග මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ ‘ද්විත්ව තුරන් කිරීමේ’ (Dual Elimination) වැඩසටහනකි. එම වැඩසටහනේ සාර්ථකත්වය මත 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව එම රෝග දෙක මවගෙන් දරුවාට බෝවීම වැළැක්වූ රටක් ලෙස නිල වශයෙන් සහතික කරන ලදී.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය සඳහන් කළේ, දැනටමත් මෙරට තුළ HIV සහ සිපිලිස් බෝවීම ඉතා අවම මට්ටමක පවතින බවයි.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා පෙන්වා දුන්නේ, ගැබිණි සමයේ මුල් අවස්ථාවේදීම මෙම පරීක්ෂණවලට ලක්වීම දරුවාගේ සෞඛ්‍යාරක්ෂාවට අතිශය වැදගත් වන බවයි. ශ්‍රී ලංකාවේ මාතෘ සංරක්ෂණ වැඩසටහන ලොව ඉහළ මට්ටමක පවතින බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.




