පංති විඥානය යනු
තමන් අයත් වන සමාජ පංතියේ තත්ත්වය, අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති දැනුවත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති අවබෝධයයි.
විනෝදය යනු(jouissance)සතුට නොවේ, එය වේදනාවෙන් සතුටු වෙන ආකෘතියකි. එය ආශාවේ සීමාව අතික්‍රමණය කරන තත්වයකි.අනෙකාගේ විනෝදය පැහැර ගැනීම යනු (Stealing the Other’s jouissance) යන අදහස මනෝවිශ්ලේෂණයේ, විශේෂයෙන් Jacques Lacanගේ අදහස් හා ඒවා දේශපාලන සහ සමාජ විග්‍රහයට යොදාගත් Slavoj Žižekගේ සංකල්පීය ගොඩනැංවීමකි.
එය මෙසේ පැහැදිලි කළ හැකිය:
පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තමන්ගේ අසතුටට හේතුව ලෙස “අපට හිමි විය යුතු විනෝදය, අවස්ථා හෝ සම්පත් වෙනත් අය සොරකම් කරගෙන යනවා” යන විශ්වාසයක් ගොඩනඟා ගනී.
එවිට “අනෙකා” (Other) යනු විදේශිකයන්, වෙනත් ජාතියක්, වෙනත් ආගමක්, හෝ වෙනත් සමාජ කණ්ඩායමක් විය හැකිය. ඔවුන් “අපේ රැකියා ගන්නවා”, “අපේ වරප්‍රසාද භුක්ති විඳිනවා”, “අපට ලැබිය යුතු දේ ඔවුන් භුක්ති විඳිනවා” වැනි අදහස් මතුවිය හැකිය.
Žižek පෙන්වා දෙන්නේ, මෙවැනි අදහස් බොහෝ විට වාර්ගිකවාදය, ජාතිවාදය සහ විදේශික විරෝධය වැනි දේශපාලන මතවාදවල පදනමක් බවයි. එහිදී “අනෙකා” ගැන මවාගත් රූපයක් නිර්මාණය කර, ඔවුන්ට “අපේ විනෝදය සොරකම් කරන” බලයක් ආරෝපණය කරයි.
සරල උදාහරණයක්:
සිංහල අපිට දියුණු වීමට නොහැකි වූවේ දෙමළා නිසාය. දෙමළ ජනතාවගේ අරගලය විනාශ කල පසු අපිට දියුණු විය හැක.
දීප්තිගේ, ඉගැන්වීම් වලට අනුව අපේ දේශපාලන අධ්‍යයනයන් මනෝවිශ්ලේෂණය පැත්තට යොමු වන්නේ මේ මංසන්ධියෙන් පසුවය.
ජ.වි.පෙ. මූලික වශයෙන් 60′ දශකයේ මැදදී රෝහණ විජේවීර සහෝදරයා විසින් ආරම්භ කිරීමේදී මාක්ස්වාදී පංති විඥානයක් සහිත කාඩරයක් සකස් කිරීමට උත්සාහ කල බව සත්‍යයකි. නමුත් 80’දශකයේ මුල සිට වේගයෙන් ව්‍යාප්ත වුනු උතුරේ අරගලය හරහා ජ.වි.පෙ.පංති විඥානය හෝ පංති දේශපාලනය අත හැර ජාතිවාදය කරා පසුබැස්සහ. 2005 වන විට ජ.වි.පෙ. පූර්ණ වශයෙන්ම ජාතිවාදී පක්ෂයක් වූ අතර උතුරේ අරගලය කුඩුපට්ටම් කිරීමට ජූලම්පිටියේ අමරේගේ ස්වාමියා වූ මහින්ද රාජපක්ෂව බලයට ගෙනාවේය.
ඉහත න්‍යායික අදහස ඔබට වැටහේනම් ජ.වි.පෙ.කලේ ‘පංතිය’ වෙනුවට ‘ජාතිය’ ආදේශ කිරීමයි. නැතහොත් ‘පංති විඥානය’ වෙනුවට ‘විනෝදය’ හදුන්වා දීමයි.
මීගමුව බන්ධනාගාර සිද්ධිය තියුණු නිරීක්ෂනයකට ලක් කරන්නේ නම් ජ.වි.පෙ. බහුතර සාමාජිකයෝ මෙන්ම මාලිමාවාසීන්ද මේ රැදවියන් කුඩුකාරයන් බවටත් බන්ධනාගාර නිලධාරීහූ වීරයන් බවටත් අපිට ඇගිල්ලෙන් අනිමින් පෙන්වා දෙයි. ලංකාවේ සමකාලීනව ඇතිවී තිබෙන පංති අතර ඇති පසමිතුරුතා පිළිබඳව ලැබිය හැකි පංති විඥානයක් සහිත මනුෂ්‍යයන් ලෙස නොව අනෙකාගේ විනෝදය උදුරාගැනීමට බලාසිටින අමුනුෂ්‍යයන්ගේ පිලිඹිමු අපි සමාජ මාධ්‍ය තුළ දකිමින් සිටී.
ඇප ලබා දිය හැකි සීමාවන් පවා වෙනස් කිරීමට අපොහොසත් වුනු වසර දෙකකින් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් ඉදිරියේ කඳුලු සලන ඇමතියෙකු දැකීම පිලිකුලකි. මියගිය කිසිදු රැදවියෙකුගේ මලගෙදරකට කිසිම ජ.වි.පෙ. හෝ මාලිමාවාසියෙක් නොයන බවට අවශ්‍යනම් කැට තැබිය හැකිය.
පහල පංතියෙන් පැමිණි අනුර කුමාර හා ජ.වි.පෙ.රාජ්‍ය බලය ලබාගැනීමෙන් පසු කල යුතු වූ රාජ්‍යයේ ප්‍රති-ව්‍යුහගත කිරීම් මුලුමනින්ම අකුලාගෙන ඇත. මනුෂ්‍යයන් 29 ක් මියගිය මීගමුවේ ඛේදවාචකය වෙනුවට නුවරට කෝච්චි ඇන්ජිමක් රැගෙන යාම උත්කර්ශවත් කරන මනුෂ්‍ය සමාජයක් තුළ අපි ජීවත් වෙමින් සිටී. පංතිය වෙනුවට විනෝදය ප්‍රමුඛ වූ සමාජයකට අර්ථයකින් පලක් නැත.
මත්ද්‍රව්‍ය හෝ මත්වීම පිළිබඳ අදහස මිනිස් සමාජය සේම පෞරාණිකය. පොදුවේ පිලිගත් විශ්වීය න්‍යායන්ට අනුව මත්පැන්(අරක්කු)නීති විරෝධී මට්ටමෙන් ඉවත්කර රාජ්‍ය පාලනයට යටත් කර තිබේ. ධනවාදයේ දියුණුවත් සමග මත්ද්‍රව්‍ය ස්වාභාවික අමුද්‍රව්‍ය(පොපි-හෙරොයින්) වලින් කෘතිමව (අයිස්) නිෂ්පාදනය කරනා නිෂ්පාදන දක්වා වර්ධනය වී තිබේ. මනුෂ්‍යයන් මත්වන්නේ යථාර්තයේ කටුකබාවයෙන් ගැලවීමේ මාර්ගයක් ලෙසය යන්න පැරණි තිසීසයකි. මේ යුගයේදී මනුෂ්‍යයන් මත්වන්නේ යථාර්තය හා බද්ධ වීමටය. මත්වීමේද පංති අතරද වෙනසක් තිබේ ඉහල තරු පංතියේ හෝටල් තුළ හෝ ලක්සරි එපාර්ට්මන්ට් වල මත්වීම පිලිබද අදහස නීතියෙන් සගවා තිබෙන විට හා එය නොනිල නිදහසක් ලෙස පවතින විට නීතියේ සියලුම අඩුපඩු වෙලාගෙන ඇත්තේ පීඩිත මිනිසුන් සිටින අර්ධ-නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශයි. එම නිසාම බන්ධනාගාර පිරී යන්නේත් ඒවා හරහා එම කුටුම්භයන් පුපුරා යන්නේත් අපේම පංතිය තුළමය.
ජ.වි.පෙ.තුළ පංති විඥානයක් පැවතුනානම් හර්ෂන නානයක්කාර වැනි විකාරකාරයෙකු අධිකරණ ඇමති වෙන්නේ නැත. අනිත් පැත්තට ලෙනින්ගේ ජායාරූපයක් යට වාඩිවී සිටින ටිල්වින් සිල්වා පැලවත්තට වී මේවා දෙස බලාගෙන ඉන්නේද නැත. සිදු වී ඇත්තේ අනෙකාගේ විනෝදයට වෛරකරන ශරීර විශාල ප්‍රමාණයක් පැලවත්තේ ඉතුරු වීම පමණකි.
රාජ්‍ය බලය ලබාගත්තායින් පසු එය අභ්‍යාස කිරීම සිදුවන්නේ බලය පිළිබඳව අනුරාගයෙන් වූ විට සිය මූලික ප්‍රකාශිත අරමුණු ඉවතට ගමන් කරයි. පීඩිතයින් පිළිබඳව ජ.වි.පෙ.අදහස මුලුමනින්ම අරාබි-නිසොල්‍යාසයේ එන කතාන්දරයකින් වෙනස් වන්නේ නැත. 2029 ඉලක්කය කෙරෙහි ඇති ඉව රාජ්‍ය ප්‍රතිසංස්කරණයන්ගෙන් ජ.වි.පෙ.ඈතට තල්ලු කර තිබේ. තව දුරටත් ජ.වි.පෙ.පීඩිතයින් නියෝජනය කරන පක්ෂයක් යන්න තඩි බොරුවකි. ඔවුන් සංවිධානය කරන්නේ මිනිසුන්ගේ විනෝදය මිස පංතිය නොවේ.



