දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදී අද (08) සවස් කාලයේදී සිදු වූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයන් දස දෙනෙකු (10) පමණ බරපතළ තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කරන පරිදි අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයකි.
ධාවනය වෙමින් තිබූ බස් රථය පින්නදුව පිවිසුම අසලදී එකවරම රියදුරුට පාලනය කරගත නොහැකිව ගොස් ඇත.
එහිදී අධිවේගී මාර්ගයේ පිහිටි ආරක්ෂිත ගේට්ටුවක් ද මුළුමනින්ම කඩාගෙන ඉදිරියට ඇදුණු බස් රථය, ඒ අසල තිබූ කොන්ක්‍රීට් කණුවක ඉතා තදින් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් රැසක් ගමන් කරමින් සිට ඇති අතර, ඉන් පුද්ගලයන් 10 දෙනෙකු පමණ විවිධ තුවාලවලට ලක්ව ඇත.
අනතුර සිදු වූ සැනින් ක්‍රියාත්මක වූ පින්නදුව අධිවේගී මාර්ග පොලිස් නිලධාරීන් සහ අධිවේගී මාර්ගයේ සේවක පිරිස එක්ව, බස් රථය තුළ සිරවී සහ තුවාල ලබා සිටි පිරිස වහාම මුදාගැනීමට කටයුතු කළහ.
පසුව තුවාල ලැබූ සියලුම මගීන් හදිසි ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
බස් රථයේ කාර්මික දෝෂයක් හෝ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවීද යන්න පිළිබඳව පින්නදුව අධිවේගී මාර්ග පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.



