බරපතළ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා, රෝහල්ගතව සිටියද තවමත් කිසිදු ආහාරයක් හෝ ජලය ලබා නොගනිමින් සිය උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය පවසයි.
අද (08) දින කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබන සිය ස්වාමිපුරුෂයාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව, රෝහල් පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට සංවේදීව පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී තමන්ට සිදුවූ අමානුෂික වදහිංසාවලට එරෙහිව සුරේෂ් සලේ මහතා ආරම්භ කළ මෙම මාරාන්තික ආහාර වර්ජනය, රෝහල් ඇඳ මතදීත් උපරිම අයුරින් ක්‍රියාත්මක වන බව පවුලේ සාමාජිකයෝ තහවුරු කරති.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ මනෝරි සලේ මහත්මිය මෙසේ සඳහන් කළාය,
“සර් තාම කන්නේ බොන්නේ මොකුත් නැහැ. එයාගේ සෞඛ්‍ය තත්ත්වය සැබවින්ම අසාධ්‍යයි. රෝහලේ වෛද්‍යවරුන් නම් ඔහුව ඉතාම උනන්දුවෙන් බලනවා, දැනට සේලයින් (Saline) ලබා දීම සිදුකරනවා. නමුත් සර් තනිවම කන්නේ බොන්නේ නැහැ. මොකුත් කරන්නේ නැහැ. සර් තමන්ගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිමින් මේ උපවාසය කිසිසේත්ම අත්හරින්නේ නැහැ කියලා කියනවා.”
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන CID රැඳවුම් භාරයේ සිටි සුරේෂ් සලේ මහතා, දින කිහිපයක් පුරා සිදුකළ අඛණ්ඩ ආහාර වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය අතිශය දරුණු ලෙස පිරිහීම නිසා ඊයේ (07) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි.
ඔහු මුහුණ දී සිටින මෙම අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය ඔහුගේ ජීවිතයට අතිශය තීරණාත්මක වනු ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.




