spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

“මේ අඳෝනාව සලේට තියෙන ආදරේකට නෙවේ!” පාර්ලිමේන්තුව කැළඹූ අධිකරණ ඇමැතිගේ සෘජු ප්‍රකාශය ඇතුළෙන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගෙන් ඔබ්බට ඉහළට ගෙන ගියහොත් එහි නියම මහ මොළකරු කවුරුන්ද යන්න නිශ්චිතවම හමුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැනවූ විශේෂ විදේශ ගමන් තහනමත් (Travel Ban) සමඟ වත්මන් විපක්ෂයේ කණ්ඩායම් දැඩි ලෙස කලබලයට පත්ව “රත් වී” ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සිනාසෙමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සුරේෂ් සලේ මහතා මීට පෙර ද දින අනූවක (90) කාලයක් රැඳවුම් භාරයේ පසුවූ වුවත් එදා කිසිවෙකුත් ඒ පිළිබඳව කෙඳිරි නොගෑ බවයි.

කෙසේ වුවද, ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් අධිකරණයෙන් ලබාගත් සැනින් විපක්ෂය හදිසියේම අඳෝනා තබන්නට පටන් ගෙන ඇති බවත්, මෙම කෑගැසීම සලේ මහතාට ඇති ආදරයක් නිසා නොව, කෙසේ හෝ මෙම විමර්ශනය සලේ මහතාගේ මට්ටමින් නවතා ගැනීමට ඔවුන්ට ඇති වුවමනාව නිසා බවත් හෙතෙම චෝදනා කළේය.

මෙම විමර්ශන මීට වඩා ඉහළට ගියහොත් සැබෑ මහ මොළකරු කොටුවන බව ඔවුන් හොඳින්ම දන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය පිළිබඳව අදහස් දැක්වූ නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ, තම ආණ්ඩුව කිසිසේත්ම ජනතාවගේ භාෂණයේ නිදහස මර්දනය නොකරන අතර, අතීතයේ මෙන් රූපවාහිනී නාලිකා ගිනි තැබීමට කටයුතු කරන්නේ ද නැති බවයි.

එමෙන්ම, මෙතෙක් දැඩි විවේචනයට ලක්වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මුළුමනින්ම අහෝසි කර, ඉදිරි මාස දෙක ඇතුළත නව ප්‍රජාතන්ත්‍රවාදී පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන බවත්, මේ රටේ උතුරට මෙන්ම දකුණට ද නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන බවත් ඔහු තහවුරු කළේය.

විනිසුරුවරුන් ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කළ අමාත්‍යවරයා, ඒ සඳහා විධායකය හෝ ආණ්ඩුව කිසිසේත් මැදිහත් නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාපිතව ස්ථාපිත කර ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) මඟින් ස්වාධීනව සිදුකරන්නක් බවත් පෙන්වා දුන්නේය.

අවසාන වශයෙන් අමාත්‍යවරයා කියා සිටියේ, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන බවට ජාතික ජන බලවේගය (NPP) මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ බවයි.

ඒ අනුව, කිසිදු පුද්ගල තරාතිරමක බේදයකින් තොරව, නිවැරදි සාක්ෂි පදනම් කරගනිමින් සියලුම වරදකරුවන් අධිකරණය හමුවට යොමු කර වින්දිතයින්ට උපරිම යුක්තිය ඉටු කිරීමට රජය බැඳී සිටී.

ජනතාව විශාල බහුතරයකින් පත්කළ වත්මන් ආණ්ඩුව, ජනතාවට දුන් පොරොන්දු අකුරටම ඉටු කරන සැබෑ මහජන ආණ්ඩුවක් බැවින් ඒ පිළිබඳව සමස්ත රටවැසියාටම නිසැකවම සතුටු විය හැකි බව ද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් මතක් කර සිටියේය.

Popular Articles