ව්‍යාපාරික සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (04) කියා සිටියේය.
සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඊට අදාළව නියෝගයක් මහාධිකරණයෙන් ලබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා යන දෙදෙනාටම නියම කළේය.
සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සැකකරුවන් දෙදෙනා හට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව පැවසීය.
2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ යන අය බඳවාගැනීම සහ එතෙක් පැවැති පටිපාටියෙන් බැහැරව රජයේ මුදල් ගෙවා ඔහු බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගි කරවූ බවට එවකට නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව දූෂණය නමැති වරද යටතේ අල්ලස් කොමිසම මේ නඩුව පවරා ඇත.
සැකකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා හට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව දැනගනු ලැබුවේ සමාජ මාධ්‍ය හරහා බව පැවසීය.
සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරුට ව්‍යාපාරික සමුළුවක් සඳහා විදේශගත වීමට ඇති බැවින් දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා, සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඉල්ලීමට අදාළ නියෝග නිතුත් කළ නොහැකි බවත් අදාළ නියෝග මහාධිකරණයෙන් ලබා ගන්නා ලෙස ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුකරය කැඳවා අවසන් බවද මහේස්ත්‍රාත්වරයා පැවසීය.




