විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් ජනරාල් අංශයේ ලේඛන සහතික කිරීම සඳහා භාවිතා කරන විද්‍යුත් පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම අංශයේ සියලුම සහතික කිරීමේ සේවාවන් අද (18) පෙරවරුවේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් ද මීට සමගාමීව අත්හිටුවා ඇති බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පැවසීය.
පසුගිය සිකුරාදා (15) දින මෙම පද්ධතිය ප්‍රථමයෙන් අක්‍රීය වී ඇති අතර, එදින සේවාවන් ලබා ගැනීමට පැමිණි ජනතාවට අද (සඳුදා) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, අද දිනයේත් පද්ධතිය යථා තත්ත්වයට පත් නොවීම හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව අමාත්‍යාංශ පරිශ්‍රයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බව වාර්තා වේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් එක්ව අමාත්‍යාංශ පරිශ්‍රයේ පිවිසුම් දොරටු වසා දැමීමට පියවර ගෙන තිබුණි. පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.




