Sunday, May 31, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

විපතක් වෙලා මාස 06ක් ගියත්, විනාශ වූ දේපළවල වගකීම භාරගන්න නිලධාරීන් නැද්ද?

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ පොදු දේපළ යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිලධාරීන් විසින් ඇස්තමේන්තු සකස් කිරීමේදී පෙන්වන මන්දගාමී සහ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වැවිලි හා ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා දැඩි අප්‍රසාදය පළ කළේය.

උමා ඔය වාරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් ඌවපරණගම මස්පන්න බස් නැවතුම්පොළ පස් කන්දකින් යට වී බස් රථ පවා විනාශ වූ බව මුළු රටම දැන සිටියද, අදාළ නිලධාරීන් මෙතෙක් එම ස්ථානය සඳහා ඇස්තමේන්තු පවා සකස් කර නොමැති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

“මම නිලධාරීන්ගෙන් මේ ගැන විමසන විට ඔවුන් කට වසාගෙන සිටියා. විමසා බලද්දී තමයි හෙළි වුණේ මේ බස් නැවතුම්පොළේ හිමිකාරිත්වය කාටද කියා අදාළ නිලධාරීන් කිසිවෙකුත් දන්නේ නැති බවයි. අවසානයේ එම හිමිකාරිත්වය සොයා දීමටත් සිදු වුණේ මටයි,” යැයි අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව, හාලිඇළ සහ ඌවපරණගම යා කරන ඓතිහාසික හලාබ පාලම දැඩි ලෙස අබලන් වී තිබියදීත්, එහි හිමිකාරිත්වය කාටද යන්න පවා නොදන්නා නිලධාරීන් දුරකථනයෙන් ඒ ගැන විමසමින් කාලය කා දැමූ බවද ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය නොවැම්බර් මාසයේ සිදුවූ එම විපතින් මාස 06ක් ගතවී ඇතත්, නිලධාරීන්ගේ ප්‍රමාදය නිසා වන්දි ගෙවීමේ කටයුතු සහ ප්‍රතිසංස්කරණ ඇණහිට ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“මේ නිලධාරීන්ගේ ප්‍රමාදය ජනතාව දන්නේ නැහැ. ජනතාව අවසානයේ දොස් නගන්නේ රජයටයි. ඒ නිසා අහිංසක මිනිසුන්ට සහ ආයතනවලට වන්දි ලබා දීම සඳහා අවශ්‍ය ඇස්තමේන්තු කඩිනමින් සකස් කර දෙන ලෙස මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Popular Articles