2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා මහින්ද රාජපක්ෂ සහ පියංකර ජයරත්න යන මහත්වරුන්ට ලබන මැයි මස 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙස නියෝග කර ඇත.
විමර්ශනයට පසුබිම් වූ කරුණු,
ගනුදෙනුව – 2013 වසරේදී Airbus A-330 යානා 06ක් සහ A-350 යානා 08ක් මිලදී ගැනීමට අදාළ ගිවිසුම.
චෝදනාව – මෙම ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම.
ප්‍රධාන සැකකරුවන් – ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී:
එහිදී, අල්ලස් වශයෙන් ලැබුණු මුදල්වලින් කොටසක් හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාට ලබා දී ඇති බවට සැකකරු ප්‍රකාශ කර තිබීමත්,
2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් පරිදි, රුපියල් මිලියන 20 බැගින් වූ වාරික තුනකින් (මුළු මුදල රුපියල් මිලියන 60ක්) බෙලිඅත්ත සහ කාල්ටන් නිවසේදී ඔහු වෙත ලබාදුන් බවත් සැකකරු පවසා ඇත.
ඒ අනුව, අල්ලස් පනත සහ නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව සිදුකෙරෙන මෙම විමර්ශනය යටතේ, අදාළ දේශපාලන අධිකාරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කොමිසම කටයුතු කරමින් සිටී.




