ගුරු සේවය ශ්‍රී ලංකාවේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් දහය (10) අතරට ගෙන ඒම රජයේ මූලික අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව, ගුරු සේවයේ පවතින ගැටලු පියවරෙන් පියවර විසඳීමටත්, ඔවුන්ගේ වැටුප් වර්ධනය කිරීමටත් කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාද වී තිබූ බඳවා ගැනීම් කඩිනම් කිරීමට රජය පියවර ගෙන ඇත.
ගුරුවරුන් 1,000කට අධික පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇත.
අදාළ තරග විභාග ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.
කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, විභාග සහ සම්මුඛ පරීක්ෂණ ලකුණු මත පමණක් පදනම්ව බඳවා ගැනීම් සිදු කරන බවට අමාත්‍යවරයා සහතික විය.
අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත මූලික වෙනස්කම් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් බැහැර වීම: දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් සහ ජීවිතාරක්ෂක කුසලතා (උදා: පිහිනීම) ලබාදීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
09 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ විභාගයක් හඳුන්වා දීමට නියමිතය.
එම විභාගයෙන් පසු දරුවන්ට තම රුචිකත්වය අනුව ශාස්ත්‍රීය අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමු විය හැක. ඒ සඳහා වෘත්තීය පුහුණු ආයතන 50ක් පමණ නවීකරණය කිරීමට රජය සැලසුම් කර ඇත.




