බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව හනීෆ් යූසුෆ් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියි. ඔහු මේ බව පවසා ඇත්තේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
තමා ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනටමත් දැනුම් දී ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි. මෙම තීරණයට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ ආණ්ඩුකාර ධුරයේ වගකීම්, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ධුරයේ රාජකාරි සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී තිබීමයි.
කෙසේ වුවද, පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරයකු පත් කරන තෙක් තමා එම ධුරයේ රැඳී සිටින බව හනීෆ් යූසුෆ් මහතා සඳහන් කරයි.
ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වුවද, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ස්වේච්ඡාවෙන් තවදුරටත් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. රටේ ප්‍රගතිය උදෙසා සේවය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔහු ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කර ඇත.




