වත්මන් රජය බලයට පැමිණ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ වැදගත් ලිපිගොනු සහ බුද්ධි වාර්තා සඟවමින් ක්‍රියා කළ නිලධාරීන්ව ආරක්ෂා කරමින්, මාතෘභූමිය වෙනුවෙන් යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් දක්ෂ බුද්ධි අංශ ප්‍රධානීන්ව සිරගත කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රණවිරුවන්ට සහ බුද්ධි අංශවලට දෑත් දිග හැර නායකත්වය දුන් නිලධාරීන් මෙලෙස දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව හිරගත කිරීම හරහා රටේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක වැටෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඔහු මේ බව කියා සිටියේ කැකිරාව ප්‍රදේශයේ පැවැති විශේෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ මෙරට ජනතාවට විරුද්ධ සහ විදෙස් ඩයස්පෝරාවේ අවශ්‍යතා සපුරාලන න්‍යාය පත්‍රයක් බවයි.
“අද ආණ්ඩුවට කටක් ඇරලා, කොන්ද කෙලින් තියාගෙන රණවිරුවන්ට ‘රණවිරුවෝ’ කියන්න බැරි තත්ත්වයකට වැටිලා තියෙනවා. ඩයස්පෝරාවේ උවමනාවට රණවිරුවන්ට පහර දීමේ සැලැස්මක් යටතේ තමයි හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේව ගෙනැත් හිරකරගෙන ඉන්නේ. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තමන්ගේ වගකීම් පැහැර හැරපු නිලධාරීන් අද මේ ආණ්ඩුවේ ඉහළම තනතුරු දරනවා. මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් අයිති වුණේ ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ජාතික ලැයිස්තු සාමාජිකයෙකුට මිසක් පොහොට්ටුවට නෙවෙයි. ඒ සියල්ල යටගහලා අද බුද්ධි අංශ දඩයම් කරනවා. මීට පෙර යහපාලන ආණ්ඩුවත් බුද්ධි අංශ දුර්වල කරලා අවසානයේ රටට පාස්කු ප්‍රහාරය උරුම කර දුන්නා.”
වත්මන් පාලනය විසින් ගොවියා, ධීවරයා සහ කම්කරුවා මුළුමනින්ම අමතක කර දමා ඇති බැවින් පොදු මහජනතාව නැවත වතාවක් පොහොට්ටුව වටා රොද බඳිමින් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.
පොහොර සහන දෙන බව පවසා බලයට පැමිණි රජයට අද වන විට මහ කන්නයට අවශ්‍ය පොහොර ටික දීමටවත් නිසි සැලැස්මක් නොමැති බවත්, පොහොර මිටිය රුපියල් 18,000 සිට 25,000 දක්වා ඉහළ මිල ගණන්වලට කළු කඩයේ විකිණෙන තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු චෝදනා කළේය.
මහින්ද රාජපක්ෂ මහතා වසර 10ක් පුරා රුපියල් 350කට පොහොර සහනය දුන් ආකාරය සිහිපත් කළ නාමල් රාජපක්ෂ මහතා, පිටරටින් එළවළු, පලතුරු සහ සහල් ගෙන්වා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු පෝෂණය කරනවා වෙනුවට, දේශීය ගොවියා ශක්තිමත් කරන ආර්ථික ක්‍රමවේදයක් තම පක්ෂය සතු බව අවධාරණය කළේය.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ කොවිඩ් 19 වසංගතය පැමිණි අවස්ථාවේදී, දේශපාලන වාසි හෝ ආර්ථික පාඩු පිළිබඳව නොසිතා ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා අසීරු තීන්දු තීරණ ගත් බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
කන්න දෙකක් පුරා පොහොර නොමිලේ ලබා දී ගමේ ව්‍යවසායකයා සහ කර්මාන්තශාලා රැකගැනීමට එදා කටයුතු කළ ද, වත්මන් බදු ප්‍රතිපත්ති නිසා අද වන විට කර්මාන්තශාලා වැසී ගොස් තරුණ විරැකියාව දරුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.
ඡන්ද කාලයේදී තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදීමට උපාධිධාරීන්ව යොදවා ගත් වත්මන් පාලකයන්, අද ඔවුන් රැකියා ඉල්ලා සිටින විට ගසා පන්නන තත්ත්වයක් උදාවී ඇති බව ද, උසස් පෙළ සිසුන්ට විෂය නිර්දේශ පවා ආවරණය කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ උපන් ප්‍රදේශය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිට ඔහුට අපහාස කිරීමට තමන් අදහස් නොකරන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව කට ඇරියොත් කියන්නේ බොරු බව ජනතාවට වැටහී ඇතැයි පැවසීය.
නුවරට දුම්රිය ධාවනය කරන බවට දුන් පොරොන්දු තවමත් ඉටුකර නොමැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, “ජනාධිපතිතුමනි, මම මීට පෙර තඹුත්තේගමට ආවා, දැන් කැකිරාවට ආවා, ඉදිරියටත් එනවා. හැබැයි අඩුම ගානේ මට ඊළඟ පාර කෝච්චියෙන් එන්න ඔබේ ගේ ඉස්සරහා තියෙන රේල්වේ ස්ටේෂන් එකවත් හදලා දෙන්න” යැයි පවසමින් සිය කතාව අවසන් කළේය.




