spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ඩෙංගු නිසා 789 දෙනෙකුට එකවර නඩු! ඔබත් නොදැනුවත්වම මේ වරද කරනවාද?

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කරන ලද තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන ඊයේ (08) දිනයේදී සාර්ථකව ආරම්භ විය.

දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා විහිදුණු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 72ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම විශේෂ ජාතික වැඩසටහන එළඹෙන 10 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිත අතර අද (09) එහි දෙවන දිනයයි.

මෙම වැඩසටහනේ පළමු දිනය වූ ඊයේ දිනය තුළ පමණක් සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂාවන් සහ වැටලීම්වල ප්‍රගතිය පිළිබඳව ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මේ වන විට සවිස්තරාත්මක නිල වාර්තාවක් නිකුත් කර තිබේ.

එම වාර්තාවේ දත්තවලට අනුව ඊයේ දිනය තුළ පමණක් දිවයින පුරා පරීක්ෂාවට ලක් කර ඇති සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව 31,196කි.

ඉන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි මට්ටමේ අතිශය අවදානම් ස්ථාන සහිත පරිශ්‍ර 8,121ක් හඳුනාගෙන ඇති අතර, ඩෙංගු මදුරු කීටයන් සජීවීව සිටි පරිශ්‍ර 2,097ක් ද ඒ අතරින් හඳුනාගැනීමට සෞඛ්‍ය නිලධාරීන් සමත්ව ඇත.

මෙහිදී පාරිසරික රෙගුලාසි කඩ කරමින් මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් වෙත නිවේදන 1,165ක් නිකුත් කර ඇති අතර, අදාළ නිලධාරීන් විසින් 789 දෙනෙකුට එරෙහිව සෘජුවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කර තිබේ.

මෙම වැටලීම්වලදී විවිධ ආයතන වර්ගීකරණයන් යටතේ දත්ත වාර්තා කර ඇති අතර, ඒ අනුව පරීක්ෂාවට ලක් කළ නිවාස පරිශ්‍ර 28,230ක් අතුරින් මදුරුවන් බෝවීමේ අවදානම් පරිශ්‍ර 7,088ක් සහ පරිශ්‍ර 1,760ක ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇති අතර එහිදී නිවාස හිමියන් 657කට නඩු පවරා ඇත.

රාජ්‍ය ආයතන 189ක් පරීක්ෂා කිරීමේදී ඉන් ආයතන 50කම ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇති අතර තවත් අවදානම් ස්ථාන 70ක් හඳුනාගෙන තිබේ.

මීට අමතරව පරීක්ෂාවට ලක් කළ ආගමික ස්ථාන 96ක් අතරින් ස්ථාන 18කම මදුරු කීටයන් හමු වී ඇති අතර එහි තිබූ අවදානම් ස්ථාන සංඛ්‍යාව 42කි.

එමෙන්ම ඊයේ දිනය තුළ කර්මාන්තශාලා පරිශ්‍ර 77ක් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් කර්මාන්තශාලා 17ක ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ දත්ත මඟින් විශේෂයෙන්ම පෙන්වා දෙන්නේ පාසල් සහ ඉදිකිරීම් බිම් (Construction Sites) වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

ඒ අනුව ඊයේ දිනය තුළ දිවයිනේ පාසල් 56ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 31%කම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන හඳුනාගෙන ඇති අතර පාසල් 07කින් ඩෙංගු මදුරු කීටයන් සජීවීව හමුවී තිබේ.

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් පරිශ්‍ර 178ක සිදුකළ පරීක්ෂාවලදී ඉන් ස්ථාන 93කම මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බව තහවුරු වූ අතර, ස්ථාන 41ක ඩෙංගු මදුරු කීටයන් හමු වීම නිසා ඉන් පරිශ්‍ර 24කට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

පාසල් සහ ඉදිකිරීම් බිම් ඇතුළු පොදු ස්ථානවල පවතින මෙම අතිශය අවදානම් සහගත තත්ත්වය සලකා බලා, තමන් ජීවත්වන සහ සේවය කරන අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරීමටත් දැඩි වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමස්ත මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

එමෙන්ම දැනට රට පුරා ක්‍රියාත්මක වන මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් වෙත හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද රජය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Popular Articles