පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානතම මහමොළකරු වශයෙන් හැඳින්වෙන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගෙන් ආරක්ෂක අංශ විසින් හුදෙක් ප්‍රකාශයක් (Statement) ලබා ගැනීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා ජනතා කම්කරු පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා ඍජුවම ප්‍රකාශ කර සිටියි.
චමීර පෙරේරා මහතා මේ බව අවධාරණය කළේ (13) දින පස්වරුවේ හැටන් නගරයේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී වත්මන් ආරක්ෂක වැඩපිළිවෙළ සහ පාස්කු විමර්ශන පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා කියා සිටියේ, රටේ සමස්ත ජාතික ආරක්ෂාව (National Security) සමඟ දේශපාලන සූදු කෙළිමින් ශ්‍රී ලංකාවේ සමස්ත ආරක්ෂක ව්‍යුහයම මුළුමනින්ම බිඳ දැමීමට කටයුතු කළ සුරේෂ් සලේ වැනි බරපතළ චෝදනා ලත් පුද්ගලයෙකු තවදුරටත් සමාජය තුළ නිදැල්ලේ පසුවීම රටේ ඉදිරි ආරක්ෂාවට මෙන්ම පොදු මහජනතාවට ද බරපතල තර්ජනයක් මෙන්ම අනතුරක් බවයි.
රටේ පැවති පෙරකාලීන ආණ්ඩු සහ පාලකයන් යටතේ ජාතික ආරක්ෂාව සිතාමතාම බිඳ දැමීම සඳහා විවිධ අන්තවාදී හා ත්‍රස්තවාදී කල්ලි රහසිගතව නිර්මාණය කරමින්, ඒවාට අවශ්‍ය මූල්‍ය හා දේශපාලන ප්‍රතිපාදන ලබා දෙමින් පෝෂණය කිරීමට සුරේෂ් සලේ කටයුතු කර ඇති බවට චමීර පෙරේරා මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.
එමෙන්ම, විවිධ උපක්‍රම හරහා ලාංකීය සමාජය තුළ වෙසෙන විවිධ ජාතීන් අතර නොසන්සුන්තාවන් සහ භේදයන් ඇති කිරීමට ඍජුවම කටයුතු කළ අතිශය භයානක පුද්ගලයෙකු ලෙස ද තමන් සුරේෂ් සලේ වන්නාව හඳුන්වා දෙන බවයි ඒ මහතා කියා සිටියේ.
එබැවින්, වත්මන් ආරක්ෂක අංශ සහ විමර්ශන නිලධාරීන් විසින් සැකකාර සුරේෂ් සලේ ගෙන් සාමාන්‍ය පරිදි ප්‍රකාශ ලබා ගැනීමෙන් පමණක් මෙම මහා ඝාතනයේ ඇත්ත යටපත් නොකළ යුතු බවත්, ඔහු සිදුකළ සමස්ත ක්‍රියාවලිය සහ ඊට සම්බන්ධ සෙසු දේශපාලන හස්තයන් පිළිබඳව වහාම ඉතා ගැඹුරු මෙන්ම පුළුල් විමර්ශනයක් (Deep Investigation) කඩිනමින් සිදුකළ යුතු බවයි චමීර පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුවේදි රජයෙන් සහ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ.




