අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ජූලි 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බ්‍රහස්පතින්දා (ජූනි 25) නියම කළේ ය.
‘හිටපු අධිකරණ ඇමතිවරයාත් ඩුබායි සංචාරයට එක්ව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා’
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මෙසේ පැවසීය.. ස්වාමීනී අල්ලස් කොමිසමට ලැබුණු නිර්නාමික පැමිණිල්ල අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. මෙම විමර්ශනයේදී දුරකතන සංවාද පටයක් හමුවෙනවා. ඒ දුරකතන සංවාදය සිදුවන්නේ මෙහි පළමු සැකකරු වශයෙන් නම් කර තිබෙන චරිත් අබේසිංහ සහ අත්අඩංගුවේ පසුවන හරක් කටා නමැත්තාගේ හිතවතෙකු බව කියන හර්බි නමැත්තෙකු අතර.
එහිදී සැකකාර චරිත් අබේසිංහ ප්‍රකාශ කරනවා, මාකඳුරේ මධුෂ්ට වෙච්ච දේ සිදුවෙන්න පුළුවන්. ඒ නිසා හරක් කටාගේ ඩී.ඕ. ඉවත් කරලා බූස්ස බන්ධනාගාරයට නොයවා ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා දීමට සුදුසු බන්ධනාගාරයකට යැවිය හැකි බවට.
“ඒ සඳහා අවශ්‍ය සහන ලබා දිය හැකි බවත් මේ සැකකරු ප්‍රකාශ කරනවා.
“මේ හර්බි නමැත්තා වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. පසුව ඔහු මේ කාරණය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ බිරිඳ වන මදුශානිට දැනුම් දෙනවා.
“පසුව 2023 වසරේ මාර්තු මස 25 වන දා රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පිටත් වෙනවා. ඩුබායි රාජ්‍යයදී හර්බි නමැත්තාගේ නිවසේදී මෙම සැකකරුවන් හරක් කටාගේ බිරිඳව මුණගැසෙනවා. එම අවස්ථාවට මිදිගම රුවන් නමැති පුද්ගලයාත් සහභාගී වෙනවා.
S
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
“එහිදී කලින් දැනුම් දන් පරිදි හරක් කටා නමැති පුද්ගලයාගේ ඩී.ඕ. ඉවත් කර ඔහුට අවශ්‍ය ආරක්ෂාව සලසා දීම සඳහා මෙම සැකකරුවන් රුපියල් කෝටි පනහක මුදලක් ඉල්ලා සිටිනවා. පසුව එම මුදල රුපියල් කෝටි 30 දක්වා අඩු කරනවා.
“එහිදී හරක් කටාගේ බිරිඳ ප්‍රකාශ කරනවා තමන්ට ඒ තරම් මුදලක් ලබා දිය නොහැකි බවට. ඒ අනුව එම මුදල කෝටි 20 දක්වා අඩු කරනවා. ඉන් අනතුරුව එම මුදලින් රුපියල් කෝටි දොළහක මුදලක් අත්තිකාරම් වශයෙන් මේ සැකකරුවන් ඉල්ලා සිටිනවා.
“එම මුදල ලබාදෙන්න හරක් කටාගේ බිරිඳ එකඟ වෙනවා. ඒ අනුව එක් අවස්ථාවකදී රුපියල් කෝටි දහයක් සහ පසු දා තවත් කෝටි දෙකක මුදලක් හරක් කටගේ බිරිඳ විසින් ලබා දීම සිදුකරනවා.
“මේ මුදල් ලබාදී තිබෙන්නේ ඩිරාම්වලින්. මෙම කරුණ මේ වන විට අත්අඩංගුවේ පසුවට මිදිගම රුවන් නමැති පුද්ගලයා ලබා දුන් ප්‍රකාශයෙන් ද තහවුරු කර තිබෙනවා. ඊට අදාළව ඔහුගේ දිවුරුම් ප්‍රකාශයක් ද අප ළඟදී ම අධිකරණයට ඉදිරිපත් කරනවා.
“ඒ වගේ ම හර්බි හෙවත් නිර්මල බණ්ඩාර නමැති පුද්ගලයාත් මේ කාරණය තහවුරු කරමින් ප්‍රකාශ ලබා දී තිබෙනවා. මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා,” යනුවෙන් සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය පැවසුවා.
වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය මෙසේ ද පැවසුවා ය:
“මෙම මුදල් ලබාගත් පසුව පොරොන්දු වූ පරිදි හරක් කටාගේ ඩී.ඕ. ඉවත්වීම සහ ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සිදුවන්නේ නැහැ. ඒ නිසා එම මුදල් ආපසු ලබා දෙන්න කියලා හරක් කටාගේ බිරිඳ හර්බි නමැති පුද්ගලයාට බලපෑම් කරනවා.
“ඒ අනුව ඔහු චරිත් අබේසිංහට මේ සම්බන්ධයෙන් දැනුම් දෙනවා. එහිදී සැකකරු ප්‍රකාශ කරන්නේ කෝටි දෙකක පමණ මුදලක් ලබාදිය හැකි බවත් සෙසු මුදල් ලබාදීමට හැකියාවක් නොමැති බවත්.
“ඒ අනුව මේ සැකකරුවන් විසින් මෑතකදී ඝාතනය කෙරුණු මිදිගම ලසා හෙවත් ලසන්ත වික්‍රමසේකරට අදාළ කෝටි දෙකක මුදල ලබා දී තිබෙනවා. පසුව මේ පිළිබඳව පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. ඉන් අනතුරුවයි අල්ලස් කොමිසම මේ විමර්ශනය ආරම්භ කළේ.
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් හරක් කටාගේ බිරිඳ වන මදුෂානිගෙන් තවමත් ප්‍රකාශයක් අරගෙන නෑ. ඇය ඉන්දුනීසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඇය විමර්ශනවලට සහය වෙන්නත් එකඟ වී තිබෙනවා.එසේ ම මේ සැකකරුවන් 2023 වසරේ මාර්තු මස 25 වන දා ඩුබායි රාජ්‍යයට ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් 2023 වසරේ මාර්තු මස 29 වන දා දිවයිනට පැමිණ තිබෙන බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් තහවුරු වී තිබෙනවා.”
‘රඛිත රාජපක්ෂ ස්ලීප් ඇප්නියා රෝගයෙන් පෙළෙනවා’
ඉන් පසුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, “මගේ සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහුට හෙට දිනයේත් මේ අධිකරණයේ නඩුවකට පෙනී සිටින්න තිබෙනවා. ඒ නිසා රිමාන්ඩ් එකේ හිඳන් තමයි ඔහුට ඒ නඩුවට පෙනී සිටින්න වෙන්නේ ,” යනුවෙන් පැවසීය.
ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා මෙලෙස විමසීය: “මේ සැකකරු ඇයි හෙට බන්ධනාගාරයේ සිට එන්න ඕන?” යනුවෙන් විමසුවා.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, මෙම සැකකරු අද රක්ෂිත බන්ධනාගාරගත වුවහොත් ඔහුට හෙට දින මෙම අධිකරණයට පැමිණීමට සිදුවන්නේ බන්ධනාගාරයේ සිට බව ය.
ඉන් අනතුරුව වැඩිදුරත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙසේ ද පැවසීය:
“මගේ සේවා දායකයා නීතිඥවරයෙක් නිසා ඔහු භාර ගත්ත නඩු විශාල සංඛ්‍යාවක් විවිධ අධිකරණවල තිබෙනවා. ඔහු රිමාන්ඩ් භාරයට පත් වුණොත් එම නඩුවලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වේවි.
“ඇප ඉල්ලීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සලකන මෙන් මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඔහුට “ස්ලීප් ඇප්නියා” නමැති රෝගී තත්ත්වයක් තිබෙනවා.
“ඒ බව තහවුරු කරන වෛද්‍ය වාර්තා ද මම අධිකරණයට ඉදිරිපත් කරනවා. එම රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයෙකු බන්ධනාගාරය තුළ රැඳී සිටීම සුදුසු නැහැ. ඒ නිසා ජීවිත අවදානමක් පවා ඇතිවෙන්න පුළුවන්. මෙම කරුණු සියල්ල සුවිශේෂි කරුණු සේ සලකා මගේ සේවාදායකයාට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
‘අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග චරිත් අබේසිංහට වැළඳිලා තිබෙනවා’
ඉන් අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, “ස්වාමීනී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බරපතළ අපරාධ චෝදනා සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන පුද්ගලයින් ලබාදුන් ප්‍රකාශ මත. එවැනි පුද්ගලයින් ලබාදෙන ප්‍රකාශ මත පුද්ගලයෙකුගේ නිදහස සීමා කිරීම සුදුසු නැහැ.
“මගේ සේවා දායකයා හෘදයාබාධයකින් පෙළන පුද්ගලයෙක්. ඔහුට ස්ටෙන්ට් හතරක් දාලා තියෙනවා. තවත් පහක් දාන්න තිබෙනවා. අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග දැන් ඔහුට අවාසනාවකට මෙන් වැළඳිලා තිබෙනවා,” ඒ නිසා ඒවා සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප ප්රදානය කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉන් පසුව තුන්වන සැකකරු වශයෙන් නම් කර සිටින අරුණ වරුෂහැන්නදිගේ වෙනුවන් පෙනී සිටි නීතීඥ ගීත් කරුණාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ, මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු ඇප මත මුදා හැරීම වැළැක්වීමේ අරමුණින් බවය.
මෙවැනි සිද්ධියකට අදාළව සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට බලයක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
එම කරුණු සුවිශේෂී කරුණු සලකා සේවා දායකයා ඇප මත මුද හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මහේස්ත්රාත්වරයාගේ නියෝගය
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය:
“මෙම සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නීතියට පටහැනි බවට තර්කයක් මතු කර තිබුණා. එම තර්කය මා ප්‍රතික්ෂේප කරනවා.
“ඒ අනුව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නීත්‍යනුකූල බව අධිකරණය තීරණය කරනවා. ඒ වගේ ම මේ සැකකරුවන්ට පවතින රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් වාර්තා ඉදිරිපත් කර තිබුණා. එම වාර්තාවලින් එම රෝගී තත්ත්වයන් පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීම් ඉදිරිපත් වී නෑ.
“එම නිසා එම වෛද්‍ය වාර්තා සුවිශේෂී කරුණු හැටියට සැලකිල්ලට ගන්න බැහැ.”
ඒ අනුව, මෙම තත්ත්වය යටතේ සැකකරුවන් ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති නිසා ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
අනතුරුව සැකකරුවන් ජූලි මස 3 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා ලෙස ද නියම කළේ ය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘හරක් කටා’ හෙවත් නදුන් චින්තක වික්‍රමරත්නගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂයේ පුත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුබද්ධ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය බ්‍රහස්පතින්දා (ජූනි 25) අල්ලස් හෝ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කලා..




