spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ආණ්ඩුව එකාධිපති වියරුවක් වෙත යමින් ඇති වග මෙසේය…

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන බලයක් සහිත රටක් ලෙස දීර්ඝ කාලයක් පුරා අපි හැඳින්වූයේ ආඩම්බරයෙනි. එහෙත් දැන් දැන් සිදුවන සමාජ කතිකාවන් හා රාජ්‍ය ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ඒ පිලිබඳව විමසිල්ලෙන් බලන්නෙකු තුල යම් කුකුසක් ඇති වෙමින් පවතින බවද නොරහසකි. විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සමාජ කතිකාවක් ඇති වෙමින් පවතින අවස්ථාවක සැප්තැම්බර් පලවෙනිදා දක්වා ඒ වෙනුවෙන් විරෝධතා ගොනු කරන්නටද අවස්ථාව ලැබී ඇත….


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ සේවා කාලය දිගු කිරීම එම සංශෝධනයේ අරමුණ වී ඇති අතර ගොඩගැසී ඇති නඩු අවසන් කිරීම වෙනුවෙන් එම තීරණය ගැනීම අත්‍යවශ්‍ය බවට ආණ්ඩු පාර්ශ්වයෙන් කරුණු දක්වා ඇත. එහෙත් මේ පිලිබඳව වඩාත්ම සංවේදී පිරිස ලෙස ශ්‍රී ලංකා නීතිඥයින්ගේ සංගමය ඒ වෙනුවෙන් සිය දැඩි විරෝධය දැක්වීමට කටයුතු කර ඇතත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු තැකීමක් මේ දක්වා සිදුකර නොමැත. රටක පාලනය රඳා පවතින බල කනු තුනකි. එනම් විධායකය , ව්‍යවස්ථාදායකය හා අධිකරණය යි. විධායකය හා ව්‍යවස්ථාදායකය පත් කරගන්නට පොදු ජනතාවට චන්ද බලය ලැබී ඇත. අධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේදී විනිසුරන් යෝජනා කිරීම විධායකය අතින් සිදුවන අතර ව්‍යවස්ථාදායක සභාවක් මගින් එය අනුමත කරනු ලබයි. එහෙත් සිය පාලන කාලය දීර්ඝ කරගැනීමට මේ කිසිදු ආයතනයකට බලයක් නොමැති අතර එය සිදුවිය යුත්තේ ජනමත විචාරණයකින් අනතුරුවය. විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාලිමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලවත් දක්වා නොතිබූ පසුබිමක, අධිකරණ විනිසුරුවරයන්ගේ කාල.ය දීර්ඝ කිරීමට නම් තුනෙන් දෙකක බලයක් ප්‍රමාණවත් නොමැති අතර ජනමත විචාරණයකට යා යුතුවම ඇති බව නීති විශාරදයින්ගේ අදහසයි…

සත්‍ය වශයෙන්ම අධිකරණ තුල නඩු ගොඩ ගැසීම හා ඒ සම්බන්ධ ගැටලු සොයා බැලීමද වටී. මූලික වශයෙන් දැඩිව පවතින ලඝුලේඛිකාවන්ගේ හිඟය ඇතුලු ඉහල සිට පහලට ඇති කාර්‍ය මණ්ඩල හිඟය මෙන්ම සේවකයින් දුර බැහැර සිට රැකියාවට පැමිණීම ආදී විවිධ ගැටලු නිසා අධිකරණ ක්‍රියාවලිය මන්දගාමී වී ඇත. මේ දක්වා ඒ පිළිබඳව අදාල කිසිදු ක්‍රියාමර්ගයක් ගෙන නොමැති අවස්ථාවක විනිසුරන්ගේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් මේ විශ්ම කර්මය සිදුවෙතැයි සිතීම පවා විශ්මය ජනකය. ආචාර්ය මහාචාර්ය නීති ඔස්තාර්වරුන් යැයි කියාගත් මහමොලකරුවන් පැලවත්තෙන් එන නියෝග පිළිපදින කීකරු බලුකුක්කන් සේ හිඳිමින් මේ රට රැගෙන යන්නේ කොයිබටදැ’ යි සොයා බැලීමේ අයිතියක් පුරවැසියන් වන අපටත් තිබේ. පසුගිය දින කීපය පුරා බන්ධනාගාර තුල සිදුවූ විනාශය වළක්වාගන්නට රජය අපොහොසත් වෙද්දී ඔවුන්ගේ එකම විසඳුම සිරකරුවන් තලාපෙලා තර්ජනය කොට නාසිවාදී පාලනයක් බන්ධනාගාර තුල ස්ථපිත කොට කැරලි මර්දනය කිරීමය. සියයකට පමණක් ඇති ඉඩ තුල තුන්සියයක් රඳවා තැබීමේදී ගැටුම් ඇති වීම ස්වභාවිකය. දීර්ඝ කාලයක් ගතවෙන රස පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු රිමාන්ඩ් බන්ධනාගාරගතවී සිටින පිරිසක්ද ඒ අතරය. සිරකරුවෝද මනුශ්‍යයෝය ලෙස තාප්ප පුරා ලොකු අකුරින් ලියා තැබුනත් සිරකරුවන්ට සිදුවී ඇත්තේ සතුන් මෙන් කූඩුවී සිටින්නටය. එය එසේ සිදුවී ඇත්‍තේ දැනට කටයුතු කරන විනිසුරුවන් යටතේමය. එසේ නම් සිදුවිය යුතුව ඇත්තේ නඩු ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපුරාලීම මිස පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම නොවේ. එය කිසිවෙකුගේ මතයකට සවන් නොදී දැඩි මතධාරීව සිදුවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට දින ගණන් කිරීම ආරම්භ වී ඇති බවට රතු එළිය දැල්වී අවසානය …

✍️ චතුරි සප්තලා සමරතුංග

Popular Articles