පැසුනු කරල් තවදුරටත් සුළඟට වැනීම පසෙකලා බිමටම නැමී සිය පරිණතභාවය ලොවට පසක් කරයි. එයට හොඳම උදාහරණයක් නම් ඇයයි. ශ්‍රී ලංකාව තුල බිහිවූ කෘතහස්ත දේශපාලකයෙක් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආදරණීය භාර්යාව හෙවත් හිටපු ජනාධිපති ආර්යාව ඇයයි….
සෙනෙවි බී. වික්‍රමසිංහ සහ ශිරාණි වික්‍රමසිංහ (බණ්ඩාරතිලක) යුවළගේ එකම දියණිය ලෙස 1964 අගෝස්තු 11 වෙනි දින නාවලදී උපත ලබන ඈ මෛත්‍රී වික්‍රමසිංහ යි. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සහ විශාඛා විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ඇති ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රයේ (Centre for Gender Studies) නිර්මාතෘ අධ්‍යක්ෂවරිය වන අතර, කොළඹ විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ සසෙක්ස් (Sussex) විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරියක ලෙසද කටයුතු කර ඇත. මේ වන විට ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස ඇය කටයුතු කරන්නීය. ස්ත්‍රී විද්‍යාව (Feminism) සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender Studies) පිළිබඳ විශේෂඥවරියක වන ඇය, එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ග්රන්ථ සහ ලිපි රැසක් ප්‍රකාශයට පත් කර ඇත. මෛත්‍රී වික්‍රමසිංහ මෙනෙවිය 1994 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විවාහ වූ අතර 2022 ජූලි මස සිට 2024 සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව (First Lady) ලෙස කටයුතු කළාය. එහෙත් ඈ කිසිදු දිනයක එම ධූරයෙහි පමණ ඉක්මවා කටයුතු කරනු අප දැක නැත. ඇය දේශපාලන වේදිකාවල සක්‍රීය ලෙස පෙනී සිටීමෙන් වැළකී සිටි අතර, පෞද්ගලික ආරක්ෂකයින් වට කොට ගනිමින් ගමන් කරනු අප දැක නැත. ඇය බොහෝ විට සැරසී සිටියේ සරල චාම් සාරියකින් හෝ ඉතා සරල ඇඳුමින් පැලඳුමෙනි. තමන් නියෝජනය කරන පන්තිය හුවා දැක්වීමට ඇඳුම භාවිතා නොකල වික්‍රමසිංහ මහත්මිය කිසිවිටෙක විලාසිතා මවන්නියක්ද නොවූවාය. එහෙත් රාජ්‍යයත්වය පිලිබිඹු වන විශේෂ උත්සව අවස්ථා වලදී ඒ සඳහා සුන්දරව හා ගෞරවනීය අයුරින් සැරසී ඒ සඳහා සහභාගි වන්නටද ඈ අමතක නොකලාය. ඇය බොහෝ විට කාලය වෙන් කරනු ලැබුවේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වෙනුවෙන්ම වුවද තම ස්වාමියාට දයාබර බිරිඳක් වන්නටද අමතක නොකලාය. දේශපාලනයේදී බිරින්දෑවරුන්ගේ සැණකෙළි අප දැක ඇත. එහෙත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සැමියාගේ දේශපාලන බලයේ එල්ලී තම ප්‍රතිරූපය ගොඩනගා ගත් අයෙකු නොව තම උගත්කමින් හා නිහතමානී ගුණාංග පිරි කාන්තාවක ලෙස දේශපාලන බිරින්දෑවරුන් අතර කැපීපෙනෙන්නේ නිරායාසයෙනි. ඇය රනිල් වික්‍රමසිංහ නැමැති ගසේ එතී ගිය වැලක් නොව එතුමන් හා සමානවම ශක්තිමත්ව නැගී සිටින්නාවූ මනා පෞරුෂයක් හිමි ආර්යාවකි. ඇය කිසිවිටෙකත් තම සැමියාගේ නිල බලයෙන් අයුතු ප්‍රයෝජන නොගත්තාය. තර්ජන කිරීම් සේවයට බාධා කිරීම් තබා රජයේ රැකියා නිලතල පත්කිරීමකදී හෝ ඇගේ මැදිහත්වීම සිදුවූ අවස්ථාවක් අපට වාර්තා වී නොමැත. ඒ තුලින් ඇගේ පන්තිය පිළිඹිබු වන්නේ නිරායාසයෙනි. සුන්දර මැතිණියනි, ඔබතුමියට නිදුක් නිරොගී සුව දීර්ඝායුශ වේවා!!!
ඡායාරූපය: රනිල් වික්‍රමසිංහ ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ඡායාරූප අධ්‍යක්ෂක ජනප්‍රිය ඡායාරූප ශිල්පි මීශා ගුණවර්ධනගේ ඡායාරූප එකතුවෙන් උපුටා ගන්නා ලද්දකි.
✍️ චතුරි සප්තලා සමරතුංග…



