ජිජැක් ට්‍රොට්ස්කි ගැන කියන කතාව තේරුම් ගැනීම ට්‍රොට්ස්කිවාදීන්ට පමණක් නොවේ අපිටත් හරිම වැදගත්. අපි වැල්වටාරම් නැතුව කෙලින්ම කතාවට යමු.
වියානාහි සංස්කෘතික විවේචකයෙකු මෙන්ම ඉතිහාස වාර්තාකරුවෙකු වූ කාල් ක්‍රවුස් (මනෝ විශ්ලේෂණය යනු එය සුව කිරීමට උත්සාහ කරන ලෙඩේම යැයි පැවසූ ප්‍රසිද්ධ ප්‍රකාශයේ හිමිකරු ද මොහුය), ට්‍රොට්ස්කි ගැන දැන සිටියේ පළමු ලෝක යුද්ධයට පෙර ඔහු වියානාහි ගත කළ කාලයෙනි. ක්‍රවුස් ගැන ඇති එක් ජනප්‍රවාදයකට අනුව, 1920 දශකයේ මුල් භාගයේදී, රතු හමුදාව සංවිධානය කරමින් ට්‍රොට්ස්කි ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් බව යමෙකු ඔහුට පැවසූ විට, ක්‍රවුස් මවිතයෙන් මෙසේ පවසා ඇත: ‘කැෆේ සෙන්ට්‍රල් එකේ හිටපු බ්‍රොන්ස්ටයින් මහත්තයාගෙන් කවුද මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ!’
මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේ ෂුවාං-ට්සු (Zhuang-Tze) සහ සමනලයා පිළිබඳ ප්‍රසිද්ධ උපමාවේ එන ආකාරයේ සම්පූර්ණ හැඩගැස්මකි. (චීන දර්ශනවාදියෙකු වූ ෂුවාං-ට්සු දවසක් හීනයක් දකිනවා එයා සමනලයෙක් වෙලා නිදහසේ පියඹා යනවා කියලා. එතකොට එයාට තමන් “ෂුවාං-ට්සු” කියලා මතකයක් නැහැ. හැබැයි එකපාරටම හීනෙන් ඇහැරුණාම එයා දකිනවා එයා ඇත්තටම මනුස්සයෙක් (ෂුවාං-ට්සු) කියලා.එතකොට එයාට මෙන්න මෙහෙම දර්ශනවාදී ප්‍රශ්නයක් මතු වෙනවා: “මම සමනලයෙක් කියලා හීන දැක්ක මනුස්සයෙක්ද? නැත්නම් දැන් මම මනුස්සයෙක් කියලා හීන දකිමින් ඉන්න සමනලයෙක්ද?”මෙතැනදී මනුස්සයා සහ සමනලයා කියන අනන්‍යතාවන් දෙක එකිනෙකා තුළ දියවෙලා, කවුද සැබෑ කෙනා කියා හඳුනාගත නොහැකි ලෙස සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයකට පත්වෙනවා). වියානාහි පිටුවහල්ව සිටි කාලයේ ‘කැෆේ සෙන්ට්‍රල්’ වෙත නිතර ගොඩවැදුණේ මහා විප්ලවවාදී ට්‍රොට්ස්කි නොවේ.පසුව ප්‍රතිවිප්ලවවාදීන්ගේ අරමුණු විනාශ කල බියකරු ට්‍රොට්ස්කි යනු, එදා කැෆේ සෙන්ට්‍රල් එකේ වේලාව ගත කළ, කතාබහට ලැදි, නිවුණු මිනිසෙකු වූ ‘බ්‍රොන්ස්ටයින් මහත්මයා’ ම ය.
ට්‍රොට්ස්කිගේ සැබෑ වැදගත්කම නිවැරදිව වටහා ගැනීමට බාධා පමුණුවන, ඔහු පිළිබඳ මෙවැනිම ගුප්ත හැඩගැස්මක් මවාපාන තවත් ‘බ්‍රොන්ස්ටයින් මහත්වරු’ සිටිති. මුලින්ම ඇත්තේ, වර්තමානයේ වෙසෙන නූතන ට්‍රොට්ස්කිවාදීන් විසින්ම ප්‍රසිද්ධියට පත් කර ඇති ට්‍රොට්ස්කිගේ මදක් ‘ප්‍රභූකරණය වූ’ ප්‍රතිරූපයයි. එනම්, ස්ටැලින්වාදී තර්මිඩෝරයට (Thermidor – විප්ලවීය පසුබෑමට) එරෙහිව නැඟී සිටි නිදහස්කාමී නිලධාරිවාද විවේචකයා, කම්කරු ජනතාව සංවිධානය කිරීම වෙනුවෙන් පෙනී සිටි පාර්ශවකරුවා, මනෝ විශ්ලේෂණයට සහ නූතන කලාවට අතහිත දුන්, අධියථාර්ථවාදීන්ගේ (Surrealists) සමීප මිතුරා ආදී වශයෙන් වන ට්‍රොට්ස්කිගේ රූපයයි (මේ ‘ආදී වශයෙන්’ කියන කොටසට ෆ්‍රීඩා කාලෝ සමඟ පැවැති කෙටි ආදර ලිංගික සබඳතාව ද ඇතුළත් කළ යුතුය)

මෙය කෙතරම් සමාජයට හීලෑ කරන ලද ප්‍රතිරූපයක්ද යත්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ‘නව-කොන්සර්වේටිව්වාදීන්’ (ගාතානුගතික වාදීන් )කිහිප දෙනෙකුම හිටපු ට්‍රොට්ස්කිවාදීන් වීම ගැන පුදුම විය යුතු නැත (මීට හොඳම උදාහරණය ‘පාටිසන් රිවීව්’ සඟරාවේ ඉරණමයි.එය 1930 ගණන්වල ආරම්භ වූයේ කොමියුනිස්ට් බුද්ධිමතුන්ගේ සහ කලාකරුවන්ගේ හඬ ලෙසය.පසුව එය ට්‍රොට්ස්කිවාදී සඟරාවක් බවට පත් විය, ඉන්පසු සීතල යුද සමයේ ලිබරල්වාදීන්ගේ ප්‍රකාශනයක් විය.දැන් එය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී බුෂ්ට සහාය පළ කරයි.මෙවැනි ට්‍රොට්ස්කි කෙනෙකු දෙස බලන විට, ස්ටාලින්ගේ ට්‍රොට්ස්කි විරෝධී ඥානය කෙරෙහි යමෙකු තුළ යම් පැහැදීමක් ඇති වීම පවා පුදුමයක් නොවේ.
ට්‍රොට්ස්කිට එරෙහිව විවේචන එල්ල කළ අය තවත් ‘බ්‍රොන්ස්ටයින් මහතෙකු’ නිර්මාණය කළහ. එනම්, නව සමාජ ක්‍රමයක් (ප්‍රති)නිර්මාණය කිරීමේ සාමාන්‍ය විප්ලවීය-පසු ක්‍රියාවලිය තුළ කිසිදු සහනයක් හෝ සාමයක් සොයාගත නොහැකි වූ, ‘නොනවතින විප්ලවයේ’ ‘සදාකාලික යුදෙව් සංක්‍රමණිකයා’ ලෙස ට්‍රොට්ස්කිව හඳුන්වා දීමයි. 1930 ගණන්වලදී බොහෝ ගතානුගතිකවාදීන් පවා ස්ටැලින්වාදී සංස්කෘතික ප්‍රතිවිප්ලවය දෙස මෙන්ම ට්‍රොට්ස්කිව පිටුවහල් කිරීම දෙස ද සුබවාදීව බැලීම පුදුමයක් නොවේ. ඔවුන් මේ සිදුවීම් දෙකම දුටුවේ පෙර පැවති යුදෙව්-ජාත්‍යන්තර විප්ලවීය ජීව ගුණය අත්හැර දැමීමක් සහ නැවතත් රුසියානු මුල් වෙත හැරීමක් ලෙසය.
බොල්ෂෙවික්වාදයේ දැඩි විවේචකයෙකු වූ නිකොලායි බර්දියාව් පවා 1940 ගණන්වලදී, එනම් ඔහුගේ මරණයට මොහොතකට පෙර, ස්ටාලින් කෙරෙහි යම් මනාපයක් ප්‍රකාශ කළ අතර නැවත සෝවියට් දේශය වෙත යාමට ද කල්පනා කළේය. මේ අනුව බලන විට, ෆිදෙල්ට සාපේක්ෂව චේ ගුවේරා පෙනෙන ආකාරයටම, ට්‍රොට්ස්කි ද රුසියාවේ චේ ගුවේරා වැනි චරිතයක් ලෙස ඉස්මතු වේ.ෆිදෙල් යනු රාජ්‍යයේ උත්තරීතර අධිකාරිය දරන සැබෑ නායකයා වන අතර, චේ යනු හුදෙක් රාජ්‍යයක් පාලනය කිරීමට පමණක් සීමා විය නොහැකි වූ, සදාකාලික විප්ලවීය කැරලිකාරයාය.
ට්‍රොට්ස්කිව ප්‍රධාන ද්‍රෝහියා ලෙස බැහැර නොකරන ලද සෝවියට් දේශයක් යනුත් මෙවැනිම දෙයක් නොවේද? 1920 ගණන්වල මැද භාගයේදී ට්‍රොට්ස්කි රටින් පිටවී, ලොව පුරා නිරන්තර විප්ලවය ඇවිළවීම සඳහා සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවය ද අත්හැර දැමූ බවත්, ඉන් කෙටි කලකට පසු ඔහු මියගිය බවත් මොහොතකට සිතන්න. එවැනි තත්ත්වයක් තුළ, ඔහුගේ මරණයෙන් පසු ස්ටාලින් විසින්ම ඔහුව ඉතා භක්තිමත් ලෙස වන්දනීය ප්‍රතිරූපයක් දක්වා ඔසවා තබනු නිසැකය.
මේ සියලු කරුණු නිසාම, බොල්ෂෙවික්වරුන්ට එරෙහිව කාල් කෞට්ස්කි එල්ල කළ දරුණු ප්‍රහාරවලට පිළිතුරු දෙමින් ට්‍රොට්ස්කි ලියූ ‘ත්‍රස්තවාදය සහ කොමියුනිස්ට්වාදය’ කෘතිය එතරම්ම වැදගත් තැනක් ගනී.එය ඉහත කී ව්‍යාජ ප්‍රතිරූප දෙකම බොරු බව ඔප්පු කරයි. වර්තමානයේදී සාධාරණ ලෙසම කාටත් අමතක වී ගොස් ඇති කෞට්ස්කි, 1920 ගණන්වලදී එකල ලොව බලවත්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වූ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තිරය පිටුපස සිටි ප්‍රධාන බලවතා විය. එසේම ඔහු බර්න්ස්ටයින්ගේ සංශෝධනවාදයට මෙන්ම වාම රැඩිකල්වාදයට ද එරෙහිව මාක්ස්වාදී සාම්ප්‍රදායික පවිත්‍රතාව රැකගත් භාරකරුවා ද විය.
‘ත්‍රස්තවාදය සහ කොමියුනිස්ට්වාදය’ කෘතියෙන් අපට මුණගැසෙන්නේ අවශ්‍ය තැනදී දැඩි වීමට, භීෂණය ක්‍රියාවට නැංවීමට මෙන්ම, එදිනෙදා සාමාන්‍ය ජීවිතය නැවත ගොඩනැඟීමේ වගකීම සම්පූර්ණයෙන්ම භාර ගැනීමට සූදානමින් සිටි ට්‍රොට්ස්කි කෙනෙකි.

කෙසේ වෙතත්, ‘ත්‍රස්තවාදය සහ කොමියුනිස්ට්වාදය’ කෘතියම පදනම් කරගනිමින් නිර්මාණය වූ තෙවන ‘බ්‍රොන්ස්ටයින් මහතෙකු’ ද සිටී.එනම්, 1920 තරම් ඈත අතීතයකදීම තනි පක්ෂ පාලනයක් සහ ශ්‍රමය මිලිටරීකරණය කළ යුතු යැයි හඬ නැඟූ, ස්ටාලින්ගේ පූර්වගාමියා වූ ට්‍රොට්ස්කිගේ රූපයයි. අයිසැක් ඩොයිෂර් සිට අර්නස්ට් මැන්ඩෙල් දක්වා වූ බොහෝ ට්‍රොට්ස්කිවාදීන් පවා ‘ත්‍රස්තවාදය සහ කොමියුනිස්ට්වාදය’ කෘතිය තමන්ගේ නොවන බව පවසා බැහැර කිරීම පුදුමයක් නොවේ (මැන්ඩෙල් මෙය හැඳින්වූයේ ට්‍රොට්ස්කිගේ ‘නරකම පොත’ මෙන්ම, ඔහු නැවතත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපතිත්වයකට ඇද වැටීමක් ලෙසය).
රුසියාව එහි පැවති නොදියුණු පසුගාමීත්වයෙන් මුදා ගැනීම සඳහා දියත් කළ සමස්ත කාර්මික බලමුලු ගැන්වීමේ ජීව ගුණයෙන් යුත්, 1930 ගණන්වල ස්ටැලින්වාදී යුගයට මඟ පෙන්වන සුළු පාඨයන් සැබවින්ම ‘ත්‍රස්තවාදය සහ කොමියුනිස්ට්වාදය’ කෘතියෙහි දැකගත හැකිය. ස්ටාලින්ගේ මරණයෙන් පසු, ඔහුගේ පෞද්ගලික ලිපි ලේඛන අතර තිබී මෙම පොතේ හොඳින් කියවන ලද පිටපතක් හමු වූ අතර, එහි ස්ටාලින්ගේ දැඩි එකඟතාවය සහ ප්‍රසාදය පළ කරන ඔහුගේම අත්අකුරින් ලියූ සටහන් පිරී තිබුණි. මීට වඩා සාක්ෂියක් යමෙකුට අවශ්‍ය වන්නේ කුමකටද?



