spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

කුලයට වඩා පෙලැන්තිය වැදගත්

ලංකාවෙ කුලයට වඩා පෙලැන්තිය වැදගත් කියන එක ඔප්පු වෙන වැදගත්ම අවස්ථාවක් තමයි මේ.

අවුරුදු හැට හතක් තිස්සේ පෙරහැරේ හොරණෑ පිඹපු වැඩිහිටියෙක් ජනාධිපතිතුමාට පුතේ කියලා කතා කරනවා. ඒ කියන්නේ ඉතින් බැලූ බැල්මටම පෙනෙනවා, මේ ජනාධිපතිවෙලා ඉන්නෙත් තමන්ගෙ කෙනෙක් කියලා ඒ වැඩිහිටියා හිතන බව.

මෙතැනදී මේ ජනාධිපති තමන්ගේ කෙනෙක් වෙලා තියෙන්නේ කුලයෙන්ද, එහෙම නැතිනම් පෙලැන්තියෙන්ද? අනුර කුමාර දිසානායක කියන්නේ ගොයිගම කුලයේ කෙනෙක්. හොරණෑ පිඹින කෙනා වෙනත් කුලයක. දෙන්න කුලයෙන් සමාන නැහැ. නමුත් පැහැදිලිවම මේ දෙන්නා පෙළැන්තියෙන් සමානයි.

මේ දෙන්නම පොඩි මිනිස්සු. පහළ සමාජ පන්තියේ මිනිස්සු. ඉංග්‍රීසි කතා කරන්න බැරි සමාජයේ මිනිස්සු. දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. අන්න ඒකයි මේ දෙන්නගේ සමානකම. අර වැඩිහිටියට දැනෙනවා මේ ජනාධිපතිවෙලා ඉන්නේ තමන්ගෙ කෙනෙක් කියලා. මොකද පෙලැන්තිය සමානයි. සමාජ පසුබිම සමානයි.

ලංකාවෙ තියන අතිශයින්ම වැදගත්ම සමාජ සාධකය තමයි පෙලැන්තිය. මේ වැඩිහිටියට තමන්ගෙම කුලයට අයිති කොළඹ හතේ ඉහළ පෙලන්තියට අයිති කෙනෙක් ගැන එහෙම සමාන කමක් හිතෙන්නේ නෑ. ඒ වගේම මේ වැඩිහිටියට ජී එල් පීරිස් ගැන, මිලින්ද මොරගොඩ ගැන, මංගල සමරවීර ගැන, චන්ද්‍රිකා කුමාරතුංග ගැන මෙහෙම හිතෙන්නේ නැහැ. මොකද පෙලැන්තිය වෙනස්.

ඒ ඇත්ත එහෙම තියෙද්දි ලංකාවේ “කුල චින්තකයන්” හිතන විදිය මේ එක්ක දාල තියෙන ස්ක්‍රීන් ෂොට් එකේ තියනවා.

දැන් මේ නන්දන වීරරත්න මහත්තයා කියන විදියට නම් මේ හොරණෑකාර මාමයි, ජනාධිපති පුතයි මොකක් හරි එකම කුලේක වෙන්න ඕනේ. මොකද කුලය ඔය තරම් වැදගත් නම්, ඒ මාමට ජනාධිපතිට පුතේ කියන්න නම් සමාන වෙන්න ඕනේ කුලේනේ. කුලය කිසිසේත්ම සමාන නොවී පෙළැන්තිය සමාන වුණ පමණින් “තමන්ගෙ කෙනෙක්” ජනාධිපතිවෙලාා කියලා ඒ මාමට හිතෙන්නේ මොකද කියන සරල කාරණේ විතරක් කරුණාකරල කල්පනා කරලා බලන්න.

ලංකාවේ කුලය වැදගත් වෙලා තිබුණු කාලයක් තියෙන්න ඇති. නමුත් දැන් ඒ කාලෙ ඉවර වෙලා ගොඩක් කල්. තවම ඒක නොදැන හැම දෙයක්ම කුලය කියන කාරණය මතම විග්‍රහ කරන්න ගියාම මේ වගේ අවුල් ඇති වෙනවා.

කටපාඩම් කරල තියාගන්න ලංකාවේ වැදගත්ම සමාජ බෙදුම තමයි පෙලැන්තිය. පන්තියවත්, දේශපාලන බලයවත් නෙවෙයි.පෙලැන්තිය.

සල්ලි කොච්චර තිබුනත් පෙළැන්තිය එක පාරට ගන්න බැහැ. දේශපාලන බලය ලැබුණත් පෙලැන්තිය හම්බවෙන්නේ නැහැ.

එක අතකින් ලංකාවේ පෙළැන්තිය අත්පත් කරගන්න එක එංගලන්තය වගේ රටවල් වලට වඩා ගොඩක් ලේසියි. එංගලන්තෙදි පෙලන්තිය කියන එක සාම්ප්‍රදායික වංශාධිපතිත්වයත් එක්ක බැඳිල තියෙන්නේ. ඒක වෙනස් කරන්න අමාරුයි වගේ. නමුත් ලංකාවේ හරියට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට පෙලන්තියෙ ඒකෙන්ම අත්පත් වෙනවා. ඒ අර්ථයෙන් ලංකාවේ පෙලැන්ති ව්‍යාපෘතිය එංගලන්තයට වඩානම්‍යශීලීයි, ප්‍රජාතන්ත්‍රවාදීයි……

ලංකාවේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව ලොකු ඉස්කෝලවලට දාගන්න, බැරි උනොත් ජාත්‍යන්තර පාසලකට දාගන්න, කොහොම හරි දරුවන්ට හොඳට ඉංග්‍රීසි උගන්වන්න මේ තරම් මහන්සි වෙන්නේ පෙලන්තිය කරා යන මාවත වැටිලා තියෙන්නේ කුමක් හරහාද කියන එක ඉවෙන් වගේ දන්න නිසයි.

ලංකාවේ උඩරට රදලයෙක් වුනත්, හරි ඇක්සන්ට් එකෙන් ඉංග්‍රීසි කතා කළේ නැත්නම් ගොඩයෙක්. කුලය මොකක් උනත්, සල්ලිය බාගේ ඒ තරමට නැතත් ඒ ඇක්සන්ට් එකයි ඉතුරු ටිකයි තියනවනම් එයා ලංකාවේ අර්ථයෙන් වංශාධිපතියෙක්.

මේ ජනාධිපතියි, අර හොරණෑ පිඹින මාමයි කියන දෙන්නම අපේ මිනිස්සු. මට හිතෙන්නේ එහෙමයි. මගේ කුලය ඒ දෙන්නගෙම කුලයෙන් වෙනස්. ජී එල් පීරිස් මගේ කුලේ. ඒ උනාට ජී එල් පීරිස් මගෙ කෙනෙක් කියලා මට හිතෙන්නෙ නෑ. මට මගේ මිනිස්සු කියලා හිතෙන්නේ මගේ පෙලැන්තියට අයිති මිනිස්සුන්ව. ඔය ජනාධිපතියි, ඔය හොරණෑ පිඹින මාමයි දෙන්නම මගේ මිනිස්සු.

Popular Articles