spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

නිහතමානී නාට්‍යය ප්‍රහසනයක් වීම දක්වා ආ දළදා පෙරහැර

පූර්ණත්වයේ අන්තයටම යෑමට උත්සාහ කිරීම යනු හීනමානාධික ලක්ෂණයකි. අන් අයගෙන් දෝෂාරෝපණයක් නොලබා සිටීම සඳහා ඕනෑම සුළු කාර්යයක් පවා උපරිමයෙන්ම නිම කිරීමට ගොස් දැඩි ලෙස ලැදියාවක් සහ මානසික පීඩනයක් ඇති කරගැනීම මෙහි ඇති බරපතළම තත්වයකි. මේ කියන්නට යන්නේ එසේ හීනමානයෙන් දැඩිව විඳවන ලොක්කෙක් හා සහචරයින් පිළිබඳ කතාවක් නොවේ. විමසා බැලීම ඔබට බාර ය.


ක්‍රි.ව.4 වන සියවසේදී (කිත්සිරිමෙවන් රජ සමයේ) හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්තධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී. පසුව කිත්සිරිමෙවන් රජතුමා වසරක් පාසා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් පෙරහැර පැවැත්වීමට නියෝග කරන ලදී. පහුකාලයේදී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ යනු ලාංකේය රාජ්‍යත්වයේ සහ ස්වයිරීභාවයේ සංකේතය වූ බැවින්, විදේශීය ආක්‍රමණ, අභ්‍යන්තර රාජ්‍ය විරෝධී කැරලි සහ ධාතුන් වහන්සේට හානි කිරීමට පැමිණි සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඉතිහාසය පුරා විවිධ රහසිගත ස්ථානවල සඟවා තැබීමට සිදු විය. කෙසේවෙතත් මේ වනවිට දළදා වහන්සේ නිරුපද්‍රිතව මහනුවර දළදා මාලිගාවේ වැඩ හිඳියි. අතීතයේ සිටම ඇසළ මාසයේදී නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාල මුල්කරගෙන සෙත් පැතීමේ අරමුණින් “ඇසළ පෙරහැර” පවත්වන ලද බව කියැවේ. මහනුවර යුගයේදී (ක්‍රි.ව. 1753 දී පමණ) කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සහ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි, දේවාල පෙරහැරට මුල්තැන දෙමින් පැවැති සංස්කෘතික උත්සවය වෙනුවට දළදා වහන්සේ මුල්කරගත් පෙරහැර එකතු කර වර්තමාන දළදා පෙරහැර ආරම්භ කරන ලදී. එදා මෙදා තුර මහනුවර දළදා පෙරහැර පැවැත්වෙන්නේ ඉතාමත් ගරු ගාම්භීර අයුරිනි. මෙසේ එම වටිනා සංස්කෘතික අංගය අදටත් නොනැසී පවතින්නේ පෙරහැර හා සම්බන්ධ සම්ප්‍රදායයන් දේවකාරියක් සේ රැකගෙන එන පිරිසගේ සාමුහික වගකීමක් ලෙසය. මෙහිදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ හා දළදා මන්දිරයේ ගිහි භාරකාරත්වය දරන දියවඩන නිලමේතුමා පෙරහැර මංගල්‍යයේ සියලු සංවිධාන කටයුතු භාරව ක්‍රියා කරයි.

අතීතයේ සිට මේ දක්වා එම ධූරය දැරූ නිලමේවරු තම ධූරයේ ප්‍රෞඪත්වය රැකෙන පරිදි ඉතා වගකීමෙන් සිය රාජකාරි කටයුතු ඉටු කරනු දැකීම ඉතාමත් සතුටට කාරණයකි. රටක ජනාධිපතිවරයා යනු රටේ භාරකාරත්වය දරන්නාය. එම නිලයටද දළදා පෙරහරේ ඉතා සුවිශේෂී කටයුතු කීපයක් පැවරී ඇත. අතීතයේ ශ්‍රී ලංකාවේ රජවරුන් ඉටුකළ රාජ්‍යමය වගකීම් සහ පූර්වාදර්ශයන් වර්තමානයේ නිරූපණය වන්නේ ජනාධිපතිවරයා හරහාය. ජනාධිපතිවරයා පෙරහැර නරඹන්නට පැමිණෙන සුවිශේෂීම පුද්ගලයාය. අතීතයේ පත්තිරිප්පුවේ සිට පෙරහැර නැරඹූ නමුත් පසුව ක්වීන්ස් හෝටලයේ උඩ මාලයේ තැනවූ විශේෂ පීඨිකාවක සිට ජනාධිපතිවරයා පෙරහැර නැරඹීම සම්ප්‍රදාය විය. එයට තවත් හේතු රැසකි. ජනාදිපතිවරයාගේ සහභාගිත්වය නිසා සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් නොවන පරිදි ආරක්ෂක කටයුතු සිදු කිරීම මින් ප්‍රධානය. එහි ස්නයිෆර් තුවක්කුකරුවන්ගෙන් ආරක්ශා කිරීම උදෙසා විශේෂ ආවරණයක් පවා යොදනු ලබන්නේ ජනාධිපතිවරයා ආරක්ශා කිරීම ආරක්ෂක අංශයට පැවරී ඇති ඉතාමත් භාරදූර කටයුත්තක් වී ඇති නිසාය.

දළදා වහන්සේගේ වැඩමවීම වෙනුවෙන්
කහදියර ඉසූ පාර හරහා ගොස් ජනතාව ඇමතූ ජනාධිපතිවරයා පිටුපස විශාල පුද්ගල කවයක් පාර පුරා දිව ගියේ එම නිසාය. ඒ අවට සිටි ආරක්ෂක නිලධාරීන් කලබලයට පත්වූයේද එමනිසාය. දළදා පෙරහැර නරඹන්නට එන ජනාධිපතිවරයාටද හැසිරීම, ඇඳුම් පැලඳුමේ සිට ඊට අනන්‍ය වූ සම්ප්‍රදායයන් පවතී. අතීත රජවරුන්ගේ සහ රාජ්‍ය නායක සම්ප්‍රදායයන්ට ගරු කරමින්, මාලිගා පරිශ්‍රයේ හෝ ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන රාජ්‍ය උත්සව හා චාරිත්‍ර සඳහා සහභාගී වන විට සුදු පැහැති දේශීය ඇඳුමින් (සුදු ජාතික ඇඳුම) සැරසීම සාම්ප්‍රදායික පිළිවෙතයි. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින සධාතුක කරඬුව පෙරහැරේ ගමන් කරන අවස්ථාවේදී අසුනෙන් නැගිට දෝත තබා වන්දනා කරමින් රාජ්‍ය නායකයා ලෙස ඉහළම ගෞරවය හා උත්තමාචාරය දැක්වීම , පූජනීය සංස්කෘතික පරිසරයකට ඔබින ලෙස අතිශය සංසුන්, දැඩි සංයමයකින් සහ බැතිමත් ස්භාවයකින් යුතුව හැසිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි. එමෙන්ම පෙරහැර අවසන් වනතුරු එහි රැඳී සිටිමින් පෙරහැරට අවශ්‍ය රාජ්‍ය ගෞරවය ලබාදීමද ඔහුගේ වගකීමකි. ඉන් අනතුරුව පසුදින උදෑසන ජනාධිපති මන්දිරයේ දී දියවඩන නිලමේතුමා ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් පෙරහැර සංදේශය රැගෙන පැමිණෙන විට, රජ සමයේ සිට පැවත එන රාජ්‍ය ගෞරවය සහිතව ඔවුන්ව පිළිගැනීම, සංදේශය භාරගැනීමෙන් අනතුරුව, රට වෙනුවෙන් සහ සංස්කෘතිය වෙනුවෙන් එම පෞරාණික චාරිත්‍රය ඉටුකිරීම ගැන නිලමේවරුන්ට සහ සමස්ත කාර්ය මණ්ඩලයට රාජ්‍ය නායකයා ලෙස ප්‍රශංසාව සහ ස්තුතිය පළ කිරීම මෙන්ම පෙරහැරේ අභිමානය රැකගැනීමට කැපවූ පාරම්පරික නැට්ටුවන්, වාදකයින් සහ ශිල්පීන්ට සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කිරීමේදී ඔවුන්ගේ සේවය අගය කරමින් සුහදව සහ ගෞරවයෙන් කටයුතු කිරීම, උත්සව පරිශ්‍රය තුළදී හෝ පෙරහැර සංදේශය භාරගන්නා අවස්ථාවේදී සිදුකරන කථාවලදී පක්ෂ දේශපාලන කතා හෝ මතභේදාත්මක ප්‍රකාශවලින් සම්පූර්ණයෙන්ම තොරව, ආගමික, සංස්කෘතික සහ ජාතික සමගිය තහවුරු වන පරිදි අදහස් දැක්වීම ජනාධිපතිවරයාගේ වගකීමයි. එමෙන්ම දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි පෞරාණික චාරිත්‍ර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය, ආරක්ෂාව සහ මූල්‍යමය ප්‍රතිපාදන වෙන්කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට පැවරේ.

එසේ මෙම ලිපිය තුලින් ඔබට ගෙන ආවේ දළදා පෙරහැරේ ප්‍රෞඪ සංස්කෘතිය ආරක්ශා කිරීම වෙනුවෙන් පැවතගෙන එන සම්ප්‍රදායයන් ය. ඔලුගෙඩි මාරු වූ පමණින් දළදා පෙරහැරේ චාරිත්‍ර වෙනස් කරන්නට කිසිවෙකුට සාධාරණ අයිතියක් නොමැත. එක්කෝ තම ධූරයේ ගෞරවය රැකිය යුතුය. නැත්නම් නොදන්නා කරුණු උපදේශකයකු හරහා හෝ ලබාගත යුතුය. එසේ නොමැතිව හිතෙන හිතෙන තැන නවතින්නට ජනාධිපතිවරයා යනු කඩල කරත්තයක් නොවේ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සාඩම්බරයක් වූ දළදා සංස්කෘතිය වෙනස් කරන්නට පෙර තවදුරටත් සිතා බැලීමේ අවස්ථාවක් කාට කාටත් ඇත. මේ පැමිණ ඇත්තේ සිදුවූයේ කුමක්දැයි තම තම ණැන පමණින් සිතා බලන්නට කාට කාටත් සතු අයිතිය උරගා බලන්නට අවස්ථාව යි…..

✍️ චතුරි සප්තලා සමරතුංග

Popular Articles