කෘතිම බුද්ධි (AI) තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගම් ද්විත්වය වන OpenAI සහ Anthropic ආයතන එකවරම දැවැන්ත මූල්‍ය සහ ආරක්ෂණ අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ..
මෙම සමාගම් දෙකම මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ AI මොඩලයන් සක්‍රියව පවත්වාගෙන යාමට සහ දත්ත මධ්‍යස්ථාන (Data Centers) හා චිප්ස් (Chips) ලබා ගැනීමට දැරීමට සිදුව ඇති අධික පිරිවැයයි. වෙළඳපොළ තරඟකාරීත්වය හමුවේ AI සේවාවන්හි ගාස්තු පහත හෙළීමට සිදුවීම නිසා මෙම ආයතනවල ලාභදායිත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇත. OpenAI හි ප්‍රධානී සෑම් ඕල්ට්මන් (Sam Altman) ද පිළිගෙන ඇත්තේ පාරිභෝගිකයන්ට AI පිරිවැය විශාල ගැටලුවක් වී ඇති බවයි.
මූල්‍ය අර්බුදයට අමතරව වඩාත්ම බරපතල තත්ත්වය වී ඇත්තේ AI පද්ධතිවල ආරක්ෂාව පිළිබඳ මතුව ඇති තර්ජනයයි. Anthropic හි ප්‍රධාන විධායක ඩාරියෝ ඇමෝඩී (Dario Amodei) විසින් “We Must Pause” නමින් ලිපියක් ලියමින්, පාලනයකින් තොරව වේගයෙන් AI සංවර්ධනය කිරීම මගින් මිනිස් පාලනයෙන් තොර පද්ධති නිර්මාණය වීමේ අවදානමක් ඇති බව පෙන්වා දී තිබේ.
වාණිජමය වශයෙන් තරඟයේ ඉදිරියෙන්ම සිටීමේ හදිසිය නිසා මෙම සමාගම් ආරක්ෂිත සීමාවන් ලිහිල් කරමින් කටයුතු කරන බවට විවේචකයන් චෝදනා කරයි. මෑතකදී සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලදී AI මොඩලයන් සර්වර් පද්ධති වෙත නොදන්වා පිවිසීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා වී ඇත.
මෙම සමාගම් දෙකම මහජන කොටස් වෙළඳපොළට (IPO) පිවිසීමට සූදානම් වුවද, අධික ලෙස මුදල් වැයවන සහ නියාමන තර්ජනවලට ලක්ව ඇති මෙම සමාගම්වල දිගුකාලීන පැවැත්ම පිළිබඳව ආයෝජකයන් තුළ මෙන්ම ඇමෙරිකානු රජයේ පරීක්ෂක අංශ තුළද දැඩි කුතුහලයක් සහ අවධානයක් යොමුව තිබේ.




