පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ 42 වන සාමාන්‍ය වාට්ටුව වෙත මාරු කර ඇති බව අද (22) අධිකරණය හමුවේ අනාවරණය විය. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, රෝහල් අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව දැනුම් දුන්නේය.
සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට තවදුරටත් නේවාසික ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අධිකරණය නියෝග කර තිබුණද, එම වාර්තාව නිසි පරිදි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසී නිකුත් කර තිබිණි. ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි රෝහල් බලධාරීන් පැහැදිලි කළේ, සලේ ට ලබාදෙන එන්නත් මගින් ඖෂධ ශරීරගත කිරීමේ (IV line) ප්‍රතිකාර ක්‍රමය අවසන් කොට මුඛයෙන් ලබාදෙන ප්‍රතිකාර වෙත මාරු වූ වහාම ඔහු රෝහලෙන් නිදහස් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.
අධ්‍යක්ෂවරයා රජයේ නිලධාරියෙකු වන බැවින් ඔහු වෙනුවෙන් ද පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් , වෛද්‍යවරුන් නව දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් සකස් කරන ලද විශේෂ වෛද්‍ය වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය. සලේ මහතා දින 100කට වැඩි කාලයක් රෝහල්ගතව සිටීම කුමන්ත්‍රණකාරී ස්වභාවයක් ගන්නා බවට වූ සිය ස්ථාවරයේ වෙනසක් නැතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, හෘද වස්තුවේ ඉදිමීමට අදාළව රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා උපකරණයක් ඔහුට සවි කර ඇති බවත් මේ වන විට දන්ත ප්‍රතිකාර ලබා දෙන බවත් පෙන්වා දුන්නේය. මෙතෙක් කාලයක් හෘද ප්‍රතිකාර අංශයේ දැඩි සත්කාර ඒකකයේ පසුවූ සලේ මහතා, අධිකරණයේ කරුණු මතු කිරීමෙන් පසු ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරක්ෂාව යටතේ සාමාන්‍ය වාට්ටුවට මාරු කළ බවත්, සැප්තැම්බර් 28 වන සඳුදා වන විට වෛද්‍ය කමිටුවක් මගින් මේ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී මෙවැනි රෝගී තත්ත්වයන් සහිත සාමාන්‍ය රෝගීන්ට සලකන ආකාරය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර, සාමාන්‍ය රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර ක්‍රමවේදම ලබාදෙන ලෙස තමන් උපදෙස් දී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. මේ අතර, සලේ මහතාට වධහිංසා කිරීමේ හෝ ප්‍රතිකාර අහිමි කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවත්, ඔහු තවමත් සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද ලබා නොදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන මගහරිමින් සිටින බවත් දිලීප පීරිස් සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර පෙරේරා පැවසුවේ සලේ මහතා බුද්ධි නිලධාරියෙකු ලෙස දිනපතා මුරපද මාරු කරන බැවින් සතියකට පෙර පැවති මුරපද මතකයේ නොරැඳීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි. එහෙත් අත්අඩංගුවට ගත් මොහොතේ සිටම මුරපද විමසූ විට ලැප්ටොප් පරිගණකය දියණියගේ බව පවසමින් ඔහු දිගින් දිගටම මුරපද ලබාදීම මගහැර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා නැවතත් පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ඔක්තෝබර් 21 වනදා නැවත කැඳවීමට නියෝග කළේය.



