fbpx

අප ගැන සහ වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය

අපගේ කාර්‍යභාරය වන්නේ මිනිසුන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමයි. එසේම සංකීර්ණ සිදුවීම් පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කරමින් ජනතාව වෙත සරළව සහ නිවැරදිව කරුණු සහ තොරතුරු ප්‍රවර්ධනය කිරීම අප අරමුණ වී තිබේ. 

සංවාදයට සහ සාමය ගොඩනැගීමට දොරටු විවර කිරීමත් ගුණාත්මක මෙන්ම විශ්වාස කළ හැකි කරුණු සහ තොරතුරු ඔබ වෙත සම්ප්‍රේශණය කිරීමත් අප ප්‍රමුඛ කාර්‍ය කොට සලකන්නෙමු. 

සදාචාර විරෝධී දේශපාලනය, ව්‍යාජ ප්‍රවෘත්ති හා වෛරී ප්‍රකාශණ සහ පක්ෂග්‍රාහී අර්ථකථන, අහිතකර ලෙස මහජන මතයට බලපෑම් කිරීම හමුවේ මාධ්‍ය කලාව ප්‍රහාරයටත් අභියෝගයටත් ලක්ව තිබේ. 

ප්‍රවෘත්තිවල සත්‍යය, අවංකභාවය, ආචාර ධාර්මිකත්වය සහ සදාචාරය වෙනුවෙන් කැපවීමත් මාධ්‍ය කලාවේ අනාගතය වෙනුවෙන් පෙනී සිටීමත් අප වගකීම කරගෙන සිටිමු. 

එම වගකීම තහවුරු කරනු වස් අප වෙබ් අඩවිය ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම මාලාවන් මත පදනම්ව අප කතෘ මණ්ඩලය විසින් ක්ෂේත්‍රයන් හි වියතුන් සමඟ එක්ව සකසන ලද පහත වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය අනුව වාර්තා කිරීම් කරනු ඇත.

එසේම මෙම වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය (IREX) විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන MDP යටතේ පරියේශණ සහ විද්වත් සහය ලැබී ඇත.

මෙම වෙබ් මාධ්‍ය ආචාරධර්ම වෙත අනුකූල වීමේ මූලික වගකීම වෙබ් අඩවියේ පළවන ලිපි, විශේෂාංග, ප‍‍්‍රවෘත්ති, තොරතුරු, ජායාරූප, හඬ පට සහ වීඩියෝ යන සියළුම තොරතුරු වලට අදාළ වේ.

ස්තුතියි.

|කතෘ මණ්ඩලය|

Info Sri Lanka මාධ්‍ය ජාලයේ වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය.

01. තොරතුරු සහ ප‍‍්‍රවෘත්ති වාර්තාකරණය 

(අ) කරුණු වල නිරවද්‍ය බව 

(i) ඒක පාර්ශවික වාර්තාකරණයෙන් තොරව කරුණුවල සත්‍යතාවය නිශ්චය කර ගැනීම පිළිබඳව සියලු සාධාරණ ක්‍රියාමාර්ග යොදාගනු ඇත.

(ii) යම් තොරතුරක, ලිපියක, විශේෂාංගයක, ප‍‍්‍රවෘත්තියක, ජායාරූපයක, හඬ පටයක හෝ වීඩියෝවක, වැරද්දක් පවතී නම් එය නිවැරදි කිරීමට හැකි කෙටිම කාලසීමාව තුළ සියලු පියවර ගැනෙනු ඇත.

(iii) යම් තොරතුරක්, ලිපියක්, විශේෂාංගයක්, ප‍‍්‍රවෘත්තියක්, ජායාරූපයක්, හඬ පටයක් හෝ වීඩියෝවක් පූර්ණ වශයෙන් පිළිනොගන්නේ නම් ඊට පිළිතුරු ලබා දීමේ අයිතිය තහවුරු කර ඇති අතර එම පිළිතුරු පෙර තොරතුරට ලබා දුන් ප්‍රමුඛතාවයෙන් ම පළ කෙරෙණු ඇත. (මෙම නිවැරදි කිරිම ප‍්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කෙරෙණු ඇත.) 

(ආ) මූලාශ්‍ර

(i) කිසියම් තොරතුරක් හෝ ප‍‍්‍රවෘත්තියක් හෝ සපයන ලද මූලාශ‍‍්‍රමය පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හෙළිකිරීමෙන් එම පුද්ගලයාට සෘජු හෝ වක‍්‍රව හානියක් ඇති නොවන අවස්ථාවක දී ද, ඔවුන්ගේ පවුලට, එයින් ඔවුන්ගෙන් යැපෙන්නන්ට, සමීප පුද්ගලයන්ට හෝ වෘත්තීයමය සගයනට යන මේ අයට හානියක් ඇති නොවන්නාවූ අවස්ථාවකදී ද, සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි අදාළ මූලාශ‍‍්‍රගත පුද්ගලයා විසින් විශේෂයෙන් ඉල්ලීමක් කර නොමැති අවස්ථාවකදී ද යන මෙම සියලූ අවස්ථාවන්හිදී පළ කෙරෙන තොරතුර හෝ ප‍‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් මූලාශ‍‍්‍රය කවරක් ද යනවග වාර්තා කෙරෙණු ඇත.

(ii) උපුටා ගැනිමක් සිදුකරන අවස්ථාවකදි එහි මුල් හිමිකාරිත්වයට නිසි තැන ලබා දිය යුතුය.

(iii) බුද්ධිමය දේපළ සහ ප්‍රකාශන අයිතිය ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක් ම ගැනෙනු ඇති අතර අන් පාර්ශවයක බුද්ධිමය දේපළ සහ ප්‍රකාශන අයිතිය පිළිගැනෙනු ඇත. 

(ඇ) අපරාධ හෝ අපරාධ නඩු වල විස්තර වාර්තා කිරීම

(i) අපරාධ හෝ අපරාධ නඩු වල විස්තර වාර්තා කිරීමේ දී ලිංගික අපරාධ වලට ලක් වූවන්ගේ නම්හෙළි නොකිරීමට ද, අපරාධයට වරදකරුවන් වූවන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අවුරුදු 18ට අඩු අයගේ නම් හෙළි නොකිරීමට ද වග බලා ගැනෙණු ඇත.

(ii) අපරාධකරුවෙකු වු කෙනෙකුගේ ඥාති සම්බන්ධතාව හෙළි නොකළ යුතු බව සම්මත පිළිගැනීම වන නමුත් මහජන යහපත පිණිස එසේ කිරීම අවශ්‍ය නම් නම් පළ කෙරෙනු ඇත.

(iii) ලිංගික අපරාධ වලට ලක් වූවන් සහ අපරාධමය චෝදනා ලැබූවන් පැහැදිලිව හඳුනාගත හැකි ඡායාරූප පළකිරීමෙන් වැළකී සිටිනු ඇත.

(iv) එසේම සිදුවීම් පිළිබඳව වේදනා ඇති කරවන ආකාරයෙන් හෝ ඒවා රසවත් ආකාරයෙන් වාර්තා කිරීමෙන් වැළකී සිටිනු ඇත.

(v) හදිසි අනතුරු, රිය අනතුරු, පැහැරගෙන යාම් සම්බන්ධ පුවත් සහ අපරාධමය සිද්ධි පිළිබඳව වාර්තා කිරීමේ දී ලේ තැවරුණු හෝ පාඨකයන්ට අපහසුතාවය ඇති වන ආකාරයේ ඡායාරූප යොදානොගැනෙන අතර එවැනි අදහස් මතුවන ආකාරයේ වාර්තා කිරීම් ද සිදු නොකෙරෙණු ඇත.

(ඈ) අවශේෂ කරුණු

(i) ජනවර්ගය, ශරීර වර්ණය, ආගම, ස්ත‍්‍රී පුරුෂභාවය, ලිංගිකත්වය, ශාරීරික හෝ මානසික රෝගයක් හෝ අබලතාවයක් සම්බන්ධයෙන් අගතිගාමීව හෝ අවමන් සහගතව සඳහන්කිරීම නොවෙනු ඇති අතර යමෙකුගේ ජනවර්ගය, කුලය, ලිංගික අනන්‍යතාවය, ශාරීරික හෝ මානසික රෝගයක් හෝ අබලතාවයක් යන මේ කිසිවක් සම්බන්ධයෙන් වාර්තා කරන ප‍‍්‍රවෘත්තියට, තොරතුරට හෝ විශේෂාංගයට සෘජුවම අදාළ වන අවස්ථාවක හැර අන් කිසිදු අවස්ථාවක සඳහන් නොකරනු ඇත.

(ii) වාර්තා කරනයේ දී සියලු අවස්ථාවල සංවාදයට සහ සාමය ගොඩනැගීම වෙනුවෙන් අවධානය යොමු කෙරෙණු ඇත.

(iii) යම් පුද්ගලයෙකුගේ රහස්‍යත්වයට කිසිදු හෝ ආකාරයකින් හානිවන ආකාරයේ පාඨ, දෘස්‍ය මාධ්‍ය, සහ රූප සටහන් ආදිය භාවිත නොකරනු ඇත.

(iv) ළමයින් සහ බාලවයස්කරුවන් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ප‍‍්‍රවෘත්ති හෝ විශේෂාංග වාර්තාකිරීමේදී අදාළ අනන්‍යතාවයන් හෙළි නොවන බවට උපරිමයෙන් වගබලා ගැනෙනු ඇත.

02. ආයතනයේ වෘත්තිකයන්ගේ පුද්ගල චර්යාව 

 (අ)  වෘත්තිය ගරුත්වය

(i) සියලුම ජනමාධ්‍යවේදින් සහ ආයතන ගත සේවකයන් තම වෘත්තිය ගරුත්වය සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් දක්වනු ඇති අතර පොදු සමාජයේදී ඔවුන්ගේ විශ්වාසනීයත්වයට හෝ ගරුත්වයට හානි පමුණුවන, එසේත් නැතහොත් පොදුවේ මාධ්‍ය වෘත්තියෙහි ගරුත්වයට හානි පමුණුවන ආකාරයේ හැසිරීම්වලින් වැලකී සිටිනු ඇත.

(ii) ජනමාධ්‍යවේදියෙක් ලෙස තමන්ට හිමි සමාජ බලය අයුතු ලෙස භාවිතා නොකෙරෙනු ඇත. 

03. මහජන අභිලාෂයන් ආරක්ෂාකර පවත්වාගෙන යාම 

(අ) වගකීම සහ වගවීම

(i) ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය, යහපාලනය, වාර්ගික සහ ආගමික සහජීවනය, සාමය සහ පරිසරය, අදහස් ප‍‍්‍රකාශකිරීමේ නිදහස, ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම්, ආන්තික ප්‍රජාවගේ අයිතිවාසිකම්, LGBTIQ ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ මිනිසුන්ගේ සියලූම මානව අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ වගකීමත් වගවීමත් ඇතුව කටයුතු කරණු ඇත.

(ii) පුද්ගල කණ්ඩායම්, ප‍‍්‍රජාවන් හෝ පොදු සමාජයට සෘජුව හෝ වක‍්‍රව හානි පැමිණවිය හැකි සිදුවීම් හෝ ගැටලූ පිළිබඳ මහජනතාව නිරන්තරයෙන් දැනුවත්කිරීමෙහිද, ද්වේෂ සහගත හැසිරීම් ජනිත කරන ආකාරයේ  ක‍්‍රියාකාරීත්වයන්, වාර්ගික හෝ ආගමික ගැටුම්වල පෙළඹවීමේ උත්සාහයන්, අපරාධ, දුෂණ ක්‍රියාවන්, පරිපාලන යාන්ත‍‍්‍රණයන්හි අයථා ක‍්‍රියාවන් බරපතල ආකරයේ වැරදි ක‍්‍රියාවන්ද හඳුනාගනිමින් ඒවා අනාවරණයකිරීමෙහි ද නිරතවීම සහ මහජන අභිලාෂයන් ආරක්ෂාකිරීමෙහිලා මැදිහත්වනු ඇත.

04. ක්‍රියාත්මක වීම 

(අ) අවසන් තීරණ 

(i) මෙම ආචාර ධර්ම පිළිබඳ අවසන් තීරණය ප්‍රධාන සංස්කාරකවරයා හෝ පැවරුම් ප්‍රවෘත්ති කතෘවරයා හෝ කතෘ මණ්ඩලය විසින් නම් කරන අයෙකු විසින් ගනු ලබන අතර එය ආචාර ධර්ම පිළිබඳ අවසාන තීරණය වේ.

(ii) මෙම ආචාර ධර්ම මාර්ගෝපදේශයන් මාර්ගෝපදේශ ලෙස භාවිතා වනු ඇත.

(iii) මෙම ආචාර ධර්ම මාර්ගෝපදේශයන් පිළිබඳව යම් ව්‍යාකූලත්වයක් හෝ ආවරණයක් ආශ්‍රිත ගැටළුවක් ඇති වුවහොත්, පැවරුම් ප්‍රවෘත්ති කතෘවරයාගෙන් උපදෙස් ලබා ගැනීම රෙකමදාරු කරනු ලැබේ.