Thursday, April 9, 2026
Home Blog Page 4

ඉන්ධන අර්බුදය ජනතාවට බරක් නොකළ රටවල්

0

බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දුනීසියාව,නවසීලන්තය ,ඕස්ට්‍රේලියාව වැනි රටවල් ලෝකය පුරා ඇතිවූ ඉන්ධන අර්බුදයට ජනතාවට අධික බරක් නොවී මුහුණ දීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම රටවල් ඉන්ධන මිල ඉහළ යාමෙන් ඇතිවන පීඩනය සෘජුව ජනතාවට පවරනවා වෙනුවට,මේ රටවල් විසින් ප්‍රමුඛව ක්‍රියාත්මක කරන්නේ පොදු ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීමයි.

සමහර රටවල් බස් සහ දුම්රිය සේවා නොමිලේ හෝ අඩු ගාස්තු යටතේ ලබා දී, පුද්ගලික වාහන භාවිතය අඩු කිරීමට උත්සාහ කර ඇත. ඒ මඟින් ජනතාවට වියදම අඩු වන අතරම රටේ ඉන්ධන භාවිතයද සැලකිය යුතු ලෙස පහත වැටේ.

එමෙන්ම, ගෙදර සිට වැඩ කිරීම (Work from Home) සහ අන්තර්ජාලය හරහා සේවා සැපයීම ප්‍රචලිත කිරීමද වැදගත් ක්‍රියාමාර්ගයකි.

රජයන් සහ ආයතන ගණනාවක් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා දීමෙන් දෛනික ගමන් අවම කර ඇති අතර, එය ඉන්ධන ඉතිරි කිරීමේ ප්‍රධාන ක්‍රමයක් ලෙස හඳුන්වා දී ඇත.

තවද, සමහර රටවල් කාර්යාල කාලය වෙනස් කිරීම, දින හතරක වැඩ සතියක් හඳුන්වාදීම වැනි නම්‍යශීලී වැඩ පද්ධති භාවිතා කරමින් රථවාහන තදබදය හා ඉන්ධන භාවිතය අඩු කිරීමට කටයුතු කර ඇත. මෙවැනි ක්‍රියාමාර්ග ජනතාවගේ දෛනික ජීවිතයට බාධාවක් නොවී ඉන්ධන ඉතිරි කිරීමේ හැකියාව වැඩි කරයි.

ඉන්ධන සැපයුම සීමිත වන අවස්ථාවලදී, සමාන ලෙස බෙදාහැරීම සඳහා සීමා පැනවීමද ක්‍රියාත්මක කර ඇත. එමඟින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතර, අනවශ්‍ය භාවිතය වැළැක්වීම සිදු වේ.

මෙවැනි ක්‍රියාමාර්ගවලින් පැහැදිලි වන්නේ, සාර්ථක රටවල් ඉන්ධන අර්බුදයට මුහුණ දෙන්නේ මිල ඉහළ නැංවීම හෝ සෘජු බර ජනතාවට පවරනවා වෙනුවට, භාවිත රටාව වෙනස් කිරීම සහ සමාජමය විසඳුම් හඳුන්වාදීම මඟිනි.

අවසන් වශයෙන්, ඉන්ධන අර්බුදයකදී වඩාත් ප්‍රායෝගික හා ජනතා හිතකාමී විසඳුම වන්නේ ඉන්ධන භාවිතය අඩු කරමින්, ජනතාවට සහන ලබා දෙන පද්ධති ක්‍රියාත්මක කිරීම බව පැහැදිලි වේ.

කොළඹ ජල කප්පාදුව පැය 12 දක්වා අඩු කිරීමට අවධානය

0

වියළි කාලගුණයත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ජල කප්පාදු කාල සීමාව තවදුරටත් අඩු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, පාරිභෝගික ජනතාව මුහුණ දෙන අපහසුතා සලකා බලා දැනට පවතින පැය 18ක කප්පාදුව පැය 8ක් හෝ 12ක් දක්වා අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

පවතින ජල හිඟය හේතුවෙන් මේ වන විට පහත ප්‍රදේශවලට දින 3කට වරක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත:

පාදුක්ක
හෝමාගම
පැලන්වත්ත
පන්නිපිටිය

මුලින් පැය 24ක කාලයක් සඳහා ජල කප්පාදුව සැලසුම් කර තිබුණ ද, පසුව එය පැය 18 දක්වා අඩු කිරීමට කටයුතු කෙරිණි. නව තීරණයත් සමඟ එම කාලය තවදුරටත් අඩු වීමට නියමිතය.

ජල සැපයුමට දිගින් දිගටම බාධා එල්ල වුවහොත්, ජනතාවට බාධාවකින් තොරව ජලය ලබා දීම සඳහා බවුසර් රථ යෙදවීමට ජල සම්පාදන මණ්ඩලය සූදානම් වේ.

ඒ සඳහා සෙසු දිස්ත්‍රික්කවල පවතින ජල බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සභාපතිවරයා තහවුරු කළේය.

පවතින වියළි කාලගුණ තත්ත්වය මත ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් මේ වන විට ජල සම්බන්ධතා 20,000කට පමණ සෘජු බලපෑම් එල්ල වී ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සජිත්, ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට ගියේ AI තාක්ෂණයෙන්ද? මුජිබර් රහුමාන් ඇත්ත හෙළි කරයි

0

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා රචනා කළ “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (04) ස්ථීර කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන කරළියේ දැඩි කතාබහක් නිර්මාණය වූයේ, සජිත් ප්‍රේමදාස මහතා එම උත්සවයට සහභාගී නොවූ බවත්, එහි දර්ශන AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් නිර්මාණය කළ ඒවා බවත් සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කිරීමත් සමඟය.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය,

ප්‍රශ්නය: “විපක්ෂ නායකතුමා සහභාගී වුණාද?”
පිළිතුර: “ඔව්, එතුමා සහභාගී වෙලා තිබුණා.”
ප්‍රශ්නය: “ඔබේ පක්ෂයේ අය කියනවා සජිත් ප්‍රේමදාස මහතා එහි පෙනී සිටියේ AI තාක්ෂණයෙන් කියලා. ඔබ එය ස්ථීර කරනවාද?”
පිළිතුර: “අපේ පක්ෂයේ මහලේකම්තුමාත් ප්‍රකාශ කළා එතුමා සහභාගී වුණා කියලා. ඒ නිසා සහභාගී වීම ගැන සැකයක් නැහැ.”

විපක්ෂ නායකවරයා උත්සවය අතරතුර අතරමගදී පිටව ගියේ ඇයිදැයි විමසූ අවස්ථාවේදී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ ඒ පිළිබඳව විමසිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාගෙන්ම බවයි.

කොළඹදී පැවැති මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය සුවිශේෂී වූයේ දීර්ඝ කාලයකට පසු මෙරට දේශපාලන ප්‍රබලයින් රැසක් එකම අවස්ථාවකට එක්වීම හේතුවෙනි.

ඒ අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ දේශපාලන විචාරකයන් රැසක් ද විය.

පක්ෂ අභ්‍යන්තරයෙන්ම AI තාක්ෂණය පිළිබඳ මතයක් ඉදිරිපත් වුවද, නිල වශයෙන් එම සහභාගීත්වය සත්‍යයක් බව දැන් තහවුරු වී තිබේ.

ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්

0

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

අද (04) දහවල් 12.00ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වේ.

සවස 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ මෙසේය:

පළාත්: මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද.

දිස්ත්‍රික්ක: වව්නියාව සහ මුලතිව්.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින්න.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි හෝ ජලාශ ආශ්‍රිතව රැඳී සිටීමෙන් වළකින්න.

විදුලි උපකරණ ප්‍රධාන විදුලි පද්ධතියෙන් විසන්ධි කර තබන්න.

බයිසිකල්, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.

හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය පතන්න.

සමාජ මාධ්‍ය චෝදනාවලට ලාල්කාන්තගේ දැඩි ප්‍රතිචාරය

0

තමා සතු ප්‍රබල ‘සමාජ ප්‍රාග්ධනය’ භාවිතා කරමින් ඕනෑම මොහොතක අවශ්‍ය මුදල් සපයා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

සිය නව නිවස සහ එහි පැවැත්වූ දානමය පින්කමක් සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පර්චස් 13ක බිම් කොටසක දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවස ඉදිකළ බවත්, තමා එහි පදිංචියට ගියේ 2024 වසරේ අග භාගයේදී බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පසුගියදා එහි පැවැත්වුණේ සිය මියගිය දෙමාපියන් සිහිපත් කිරීමේ දානමය පින්කමක් මිස “ගෙවල් වැදීමේ” උත්සවයක් නොවන බව ද ඔහු අවධාරණය කළේය.

“මට අවශ්‍ය වුවහොත් එක් අයෙකුගෙන් ලක්ෂ 5 බැගින් පුද්ගලයන් 100 දෙනෙකුගෙන් සතියක් තුළ ලක්ෂ 500ක් හොයාගන්න පුළුවන්. ඒකට මට කරන්න තියෙන්නේ එක ෆෝන් කෝල් එකක් දෙන එක විතරයි.

ඒ තරම් විශාල සමාජ ප්‍රාග්ධනයක් මම දේශපාලනය තුළින් ගොඩනගාගෙන තියෙනවා.”

සාමාන්‍ය මිනිසුන්ට මෙම සමාජ ප්‍රාග්ධනය ගණන් හදා තේරුම් ගැනීම අපහසු බවත්, දශක ගණනාවක දේශපාලන ජීවිතය තුළ තමා ගොඩනගාගත් සබඳතා මෙහි පදනම බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමා කිසිදු අවස්ථාවක රජයේ බදු මුදල් හෝ පක්ෂ අරමුදල් අවභාවිත කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා, තමාට එරෙහිව මෙතෙක් කිසිදු මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී නොමැති බව ද පෙන්වා දුන්නේය.

අතීතයේ බිරිඳගේ වැටුපෙන් ජීවත් වූ බව සත්‍යයක් වුවද කාලයත් සමඟ තත්ත්වයන් වෙනස් වන බව ඔහු පැවසීය.

සිය දියණිය විදේශගතව අධ්‍යාපනය ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවත්, ඇය අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාව තුළ බවත් අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය.

දේශපාලන ප්‍රතිවාදීන් තමා කෙරෙහි පවතින ජනප්‍රසාදය පලුදු කිරීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන බව ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

IMF හමුවේදී ආර්ථික පීඩනය අඩු කිරීමට නව යෝජනා

0

2026 අප්‍රේල් 4 වන දින, ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නියෝජිත කණ්ඩායමක් සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

මෙම හමුවේදී රටේ ආර්ථික පීඩනය අවම කර ගැනීම සඳහා බදු සහ ගාස්තු අඩු කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂය විසින් අවධාරණය කරන ලදී.

මන්ත්‍රී රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේ කුඩා හා මධ්‍යම ව්‍යාපාර දැඩි ලෙස බිඳ වැටී ඇති බවයි.

වත්මන් ආර්ථික ප්‍රතිපත්ති මහා ව්‍යාපාරවලට වැඩි අවධානයක් ලබා දීම හේතුවෙන් කුඩා ව්‍යාපාර විනාශ වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, ජනතාවට දැඩි බරක් වන විදුලි ගාස්තු වැඩිවීම අඩු කළ යුතු බවත් ඔහු ඉල්ලීමක් කළේය.

එමෙන්ම, මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් දූෂණය සම්බන්ධ ගැටළු පිළිබඳ අවධානය යොමු කළ යුතු බව IMF නියෝජිතයන්ට පැවසීය.

විශේෂයෙන්, ගල්අඟුරු මිලදී ගැනීමේ අක්‍රමිකතා සහ පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් 323 ක් සම්බන්ධ සිද්ධීන් පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.

IMF නියෝජිත කණ්ඩායම මෙම කරුණු පිළිබඳව රජය සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවට සහතික වී ඇත.

එහෙත්, විදුලි ගාස්තු සම්බන්ධයෙන් ඔවුන් අවධාරණය කළේ වියදම් අනුව සකස් කරන (cost-reflective) ගාස්තු ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම වැදගත් බවයි.

මෙම හමුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි අතර, ජනතා ජීවන වියදම් අඩු කිරීම සඳහා අනාගතයේදී ගන්නා තීරණයන්ටද මෙය බලපානු ඇත.

රජයේ වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක

0

“පුළුවන් නම් අපව ඉවත් කර පෙන්වන්න” GMOA ඇමතිට අභියෝග කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් සංවිධානය කරනු ලබන දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (04) පෙරවරු 8.00 සිට ආරම්භ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව තහවුරු කළේය.

වර්ජනය ක්‍රියාත්මක වුවද, රෝගී සත්කාරක සේවා අවම මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව වෛද්‍ය සංගමය පවසයි.

ඒ අනුව පහත රෝහල් මෙම වර්ජනයට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත.

ළමා රෝහල්
මාතෘ රෝහල්
පිළිකා රෝහල්
වකුගඩු රෝහල්
මානසික සෞඛ්‍ය විද්‍යායතන

කෙසේ වෙතත්, ඉහත සඳහන් රෝහල් හැර දිවයින පුරා පිහිටි සෙසු සියලුම රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව වෛද්‍ය සුගතදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් අද දහවල් 12 වන විට සේවයෙන් ඉවත් කරන බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් කරමින් GMOA ලේකම්වරයා සෘජු අභියෝගයක් ද එල්ල කළේය.

“අමාත්‍යවරයා පවසා තිබුණා අද දහවල් 12 වන විට සෞඛ්‍ය වෘත්තිකයින්ව රැකියාවෙන් ඉවත් කරන බව.
අපි අභියෝග කරනවා ඒ ප්‍රකාශය ක්‍රියාවට නංවා පෙන්වන්න කියලා.”

අමාත්‍යවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා, වැරදි තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.

“ඔබව කවුරුන් හෝ නොමඟ යවනවා විය හැකියි.
වැරදි තීන්දු තීරණ ගෙන ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු සෞඛ්‍ය ඇමතිවරුන් ඕනෑතරම් ඉන්නවා.
ඔබගේ නමත් ඒ කළු ලේඛනයට ඇතුළත් කරගන්න උත්සාහ කරන්න එපා කියලා අපි මතක් කරනවා.”

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක බාහිර රෝගී අංශයේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

පාසල් මාරුවක් බලාපොරොත්තු වන සිසුන්ට විශේෂ නිවේදනයක් ! 09/2026 අලුත් චක්‍රලේඛය නිකුත් වෙයි

0

2026 ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ඇරඹෙයි.

2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට (5 සහ 6 ශ්‍රේණි හැර) සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ නව චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අංක 09/2026 දරන මෙම චක්‍රලේඛය මාර්තු 31 වැනිදා නිකුත් කර ඇති අතර, ඒ අනුව සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සම්පූර්ණ විස්තර අනාවරණය කර තිබේ.

ප්‍රධාන කරුණු කිහිපයක්:

2026 වසරේ 5 සහ 6 ශ්‍රේණි හැර සෙසු සියලුම ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා අයදුම් කළ හැකිය.

2026 ජනවාරි 31 දිනට අදාළ වන පරිදි ජාතික පාසල්වල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිය.

අයදුම්පත් යොමු කිරීමව සදහා 09/2026 චක්‍රලේඛයේ දැක්වෙන ආදර්ශ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර, අවශ්‍ය ලේඛන ද සමඟ අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අප්‍රේල් මස 27 වැනිදා වේ.

අමාත්‍යාංශය අවධාරණය කරන්නේ කිසිදු හේතුවක් මත අමාත්‍යාංශය වෙත සෘජුව අයදුම්පත් යොමු නොකළ යුතු බවත්, සියලුම අයදුම්පත් අදාළ පාසල් වෙතම යොමු කළ යුතු බවත්ය.

NDB තුළ රු. මිලියන 380ක අභ්‍යන්තර වංචාවක් , බැංකු සේවකයින් සහ බාහිර පාර්ශව ගැන සැකයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන National Development Bank PLC (NDB) තුළ රුපියල් මිලියන 380කට ආසන්න අභ්‍යන්තර වංචාවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බැංකුව නිල වශයෙන් තහවුරු කර ඇත.

මෙම වංචාවට බැංකු සේවකයින් කිහිප දෙනෙකු සහ බාහිර පාර්ශවයන් සම්බන්ධ වී ඇති බවට සැක කෙරේ.

මුල් තොරතුරු අනුව, අලාභය රුපියල් මිලියන 380ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නමුත්, විමර්ශන ඉදිරියට යන විට එය තවදුරටත් වැඩි විය හැකි බව සඳහන් වේ.

වංචාව සිදුකළ ආකාරය තවමත් සම්පූර්ණයෙන් හෙළි කර නොමැති නමුත්, අභ්‍යන්තර පාලන ක්‍රමවල දුර්වලතා හෝ ක්‍රියාපටිපාටි අඩුපාඩු භාවිතා කරමින් මෙය සිදු කර ඇති බවට සැක පවතී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකුව නීති ක්‍රියාත්මක කරන අංශ වෙත දැනුම් දී ඇති අතර, තවදුරටත් විමර්ශනය සඳහා ඒවාට යොමු කර ඇත.

එමෙන්ම, Central Bank of Sri Lanka වෙතද මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, නියාමන අධීක්ෂණය යටතේ පරීක්ෂණ ක්‍රියාවලිය සිදු වෙමින් පවතී.

අභ්‍යන්තර විගණන කණ්ඩායම් සහ බාහිර විශේෂඥයන් ද මේ සඳහා සම්බන්ධ කරගෙන ඇත.

මෙම සිද්ධිය ඇතිවූවත්, ගනුදෙනුකරුවන්ගේ තැන්පතු සහ ගිණුම් ශේෂ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව බැංකුව අවධාරණය කරයි.

දෛනික බැංකු කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වෙමින් පවතින බවත්, අලාභය අවම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය මූල්‍ය ආයතන තුළ ශක්තිමත් අභ්‍යන්තර පාලන පද්ධති, පාරදර්ශීභාවය සහ නිරන්තර නිරීක්ෂණය වඩාත් වැදගත් බව පෙන්වා දෙයි.

එසේම, අභ්‍යන්තර අක්‍රමිකතා වලට එරෙහිව දැඩි නීතිමය සහ නියාමන ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් ඉඟි කරයි.

අවසානයේ, මෙම වංචාව National Development Bank PLC සඳහා වැදගත් අභියෝගයක් වුවද, වහා ක්‍රියාමාර්ග ගැනීම සහ අධිකාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මඟින් බැංකුව තම වගකීම්භාරය හා මූල්‍ය ස්ථාවරතාවය රැකගැනීමට කැපවී සිටින බව පැහැදිලි වේ.

දැනුම්දීමෙන් තොරව විදුලි , ජල කප්පාදු?

0

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල දැනුම්දීමෙන් තොරව විදුලි හා ජල කප්පාදු දැනටමත් ක්‍රියාත්මක වන බව විපක් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

2026 අප්‍රේල් 2 වන දින පැවති එක්සත් මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරන ලදි.

මෙම මාධ්‍ය හමුවට දම්පික රණවක, රාජිත දිසානායක සහ දයාසිරි ජයසේකර ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙක් සහභාගී වූහ.

ඔවුන් සඳහන් කළේ, මෙම කප්පාදු ජනතාවට පෙර දැනුම්දීමකින් තොරව සිදු වන බවයි.

දයාසිරි ජයසේකර මහතා අනුව, මධ්‍ය පෙරදිග යුද්ධය මෙම ගැටලුවට හේතුවක් බවට රජය කරනු ලබන ප්‍රකාශය සත්‍ය නොවන බවයි.

ඔහු අවධාරණය කළේ, රජයේ දූෂණයම විදුලි හා ජල හිඟයට ප්‍රධාන හේතුව බවයි.

තවද, ඉදිරි කාලයේ පොහොර හිඟයක් ඇති විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

පතාලි චම්පික රණවක මහතා සඳහන් කළේ, ගල්අඟුරු මිලදී ගැනීමේ ගැටලුවක් හේතුවෙන් විශාල ආර්ථික පාඩු සිදු වී ඇති බවයි.

ඔහු පැවසුවේ, එක් ටොන් එකක් ඩොලර් 143ක් වැනි ඉහළ මිලකට ගල්අඟුරු මිලදීගෙන ඇති බවත්, එමඟින් රුපියල් බිලියන 10කට වැඩි පාඩුවක් සිදු වී ඇති බවත්ය.

තවද, අනාගතයේ ගල්අඟුරු නැව් පැමිණියද විදුලි කප්පාදු වැළැක්විය නොහැකි බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම, ජල විදුලි නිෂ්පාදනය සඳහා භාවිත වන ජලාශවල ජල මට්ටම සම්පූර්ණ ධාරිතාවයෙන් 50%ක් පමණට පවත්වාගෙන යන බවත්, එය විදුලි ගාස්තු වැඩිවීම සහ කප්පාදු පිළිබඳ සැබෑ හේතු සඟවා ගැනීමට කළ යුතු ක්‍රියාවක් විය හැකි බවත් ඔහු චෝදනා කළේය.

විපක්ෂය තවදුරටත් රජයෙන් ජනතාවට සහන ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

විදුලි ගාස්තු, ප්‍රවාහන ගාස්තු, ඉන්ධන සහ ආහාර මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඔවුන් සඳහන් කළහ.

සිංහල අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන ලබාදීම අත්‍යවශ්‍ය බවද ඔවුන් අවධාරණය කළහ.