“රජ දවස පාලකයන් ජනතාව අත්නොහැරියා සේ, වත්මන් අසීරු අවස්ථාවේදීත් ජනතාව අත්නොහැරිය යුතුයි” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොළොන්නරුවේදී පවසයි
එදා රජ දවස පාලකයන් අසීරු අවස්ථාවලදී සිය ජනතාව අත්නොහැරියා සේ, වත්මන් අසීරු කාලවකවානුවේදීත් ජනතාව අතහැර නොයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඇලහැර රදවිගේඔය ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍යයේ මුල් ගල් තැබීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, කවුරුන් කුමන දේ පැවසුවද රටේ ගොවි ජනතාව අද පසුවන්නේ දැඩි අසීරුතාවයකින් බවයි. තම අස්වැන්න ඉහළ ස්ථාවර මිලකට විකුණාගත නොහැකිව ගොවීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවද ඔහු අවධාරණය කළේය.
එහිදී කරුණු දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “එදා රුපියල් අනූවකට අලෙවි වූ වී කිලෝවක්, අද 14% ක තෙතමනයට අඩු වී අලෙවි වන්නේ රුපියල් 114කටයි. ගොවියා විශාල පිරිවැයක් දරා වගා කටයුතු සිදුකළත්, අද ඔවුන්ට එමගින් ලැබෙන ලාභයක් නොමැත” යැයි පැවසීය.




