fbpx

රනිල් ඉල්ලන පොදු සන්ධානයේ දේශපාලන ලේකම් ධුරය හේමප්‍රියට!

HotPolitical

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් වන හේමප්‍රිය කවිරත්න මහතා පත් කර ඇති බවට අප විසින් පසුගියදා වාර්තා කළ පුවත සත්‍ය බවට තහවුරු වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ අලුත්ම ඡන්ද ලකුණක් සහිතව පොදු සන්ධානයකින් බවට පසුගිය දා වාර්තා වූ අතර එසේ ඉදිරිපත්වන පක්ෂය සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස්ට හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත පවරා ඇති අතර එසේ ඉදිරිපත් වන පක්ෂය ලෙස එක්සත් මහජන පක්ෂය තොරා ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කැබිනට් රැස්වීමෙන් පසු ජනාධිපත්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීමේ දී තරුණයන් දේශපාලනය තුළ සක්‍රිය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත එක්සත් මහජන පක්ෂය නව තරුණ නායකයන් වෙත විවෘත කරන ලෙස ද පවසා තිබේ. ඒ අනුව එම රැස්වීමේ දී හේමප්‍රිය කවිරත්න මහතා ඇතුළු තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව පැවසේ.

ඒ අනුව එක්සත් මහජන පක්ෂයේ නායක අමාත්‍ය ටිරාන් අලස් මහතා කල ඉල්ලීමක් අනුව හේමප්‍රිය කවිරත්න මහතා එම තනතුර භාර ගැනීමට එකඟතාවය පළකර තිබේ.

හේමප්‍රිය කවිරත්න මහතා මිට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංගමයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර පසුගිය සමයේ දේශපාලන වශයෙන් සක්‍රියව කටයුතු කල අයෙක් වේ.

හේමප්‍රිය කවිරත්න මහතාට අමතරව එම පක්ෂයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කටයුතු සඳහා හිටපු ජේෂ්ඨ පොලිස් නිළධාරියෙකු වන රංජිත් දසනායක මහතා පත්කර ඇති අතර පක්ෂයේ විධායක සභාව සඳහා ද නව පිරිසක් පත්කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම වන අතර ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ ඡන්ද ලාංඡනය වන්නේ ජංගම දුරකථන යි.

Leave a Reply