fbpx

‘අනුර-සජිත් විවාදය’ රයිගමයයි ගම්පොළයයි වැඩක් වන හැඩ!

FeaturedHotPolitical

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිරු රූපවාහිනී නාළිකාවේ සළකුණ වැඩ සටහනට එක් වූ 2023 ජනවාරි 09 වෙනි දින විවෘත අභියෝගයක් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබිණි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එම ආරාධනාව ඉවත දමා තිබෙන අතර සමගි ජන බලවේගයේ විවිධ මන්ත්‍රීවරු සංවාදයකට එන ලෙස කර තිබෙන ප්‍රකාශ අනුව සියලු තත්වයන් සලකා බලා ජාතික ජන බලවේගය එම සංවාදයට සූදානම් බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස නිල වශයෙන් දැනුම් දී තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් තිදෙනා සමග ජාතික ජනබලවේගයේ ආර්ථික සම්පාදකයින් තිදෙනාට රටේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට සමගි ජනබලවේගය කළ ආරාධනය පිළිනොගෙන විවාදය වෙනත් දිශාවකට යොමු කිරීමට දරන ප්‍රයත්නය දැඩි ලෙස හෙළා දකින බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විවාදයට මොකක් වෙයි ද? පහත ලිපියත් කියවන්න.

රයිගමයයි ගම්පොළයයි කරන ප්‍රතිපත්ති විවාදය

එකෝමත් එක කාලෙක දවසක්ර යිගමයාත් ගම්පොලයාත් තමන්ට සුපුරුදු අම්බලමේ දී හමු විය. වැලේ වැල් නැතුව සිටි දෙදෙනාම වෙළඳාමක් කරන්න කතිකාකර ගත්තේය. ඒ අනුව රයිගමයා බුලත්ද ගම්පොලයා පුවක්ද ‍රැගෙන ඒමට පොරොන්දු කරගත්තේය. ඒත් රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොල පුරවපු මල්ලකි. ගම්පොලයාද පුවක් වෙනුවට ඊරිය ගෙඩි ගොඩක් මල්ලක දමාගෙන ඇවිත් සිටියේය. දෙන්නාගෙම බලාපොරොත්තුව වුයේ අනෙකාගේ බඩු මල්ල සොරාගෙන ගොස් වෙළදාමෙහි යෙදී ගානක් හොයා ගැනීමය. එදා රාත්‍රියේ ආගිය තොරතුරු කතා කරමින් දෙදෙනා නින්දට ගියේ හිමිදිරියෙම වෙළඳමට යන්න හිතාගෙනය.

ඒත් රයිගමයාට කළින් ඇහැරුණ ගම්පොලයා, රයිගමයා ගෙන ආ මල්ලත් රැගෙන හොර රහසේම එතැනින් පළා ගියේය. රයිගමයාද අවදි වී බලන විට ගම්පොලයා බුලත් යැයි සිතා තමා ගෙන ආ ගම්මිරිස් මල්ලට රැවටී එය හොරාගෙන ගොස් ඇති බව දැන සතු‍ටු වී, ගම්පොලයා ගෙනවිත් දමා තිබු මල්ලේ පුවක් ඇතැයි සිතාගෙන එය රැගෙන වෙළඳාමට ගිය නමුත් තමද රැවටී ඇති බව ඒ දැන ගත්තේය.

මේක ජනප්‍රවාදයේ ඇති රයිගමයයි ගම්පොළයයි අතර වු කතන්දර තොගයකින් එකකි.

කපටිකම් සහ මෝඩකම්වලින් අගතැන්පත් මිනිස්සු ගැන ජනප්‍රවාදයේ ප්‍රසිද්ධම චරිත දෙක මේ ඩබලය.

දේශපාලන ලෝකයෙත් මෙහෙම අය සිටිති. මේ වගේම දේශපාලන වැඩත් තිබේ. සාමාන්‍යයෙන් මේ වගේ දකින ලැබෙන්නේ එක් අයකු වුණත් එකවර දෙදෙනෙකුම දේශපාලන ලෝකයේ දකින්නට ලැබීම සුවිශේෂී අවස්ථාවකි. ඒ සුවිශේෂීකම දැන් මෙරට පුරවැසියන්ට ලැබී තිබේ.

අනාගතයේදී ජනප්‍රවාද ගත වීමට නියමිත අපේ කාලයේ රයිගමයයි ගම්පොළයයි පහුගිය කාලේ පාලු‍ අම්බලම්වලට වී කට මැත දොඩවමින් සිටියේය. දැන් දෙන්නම එක අම්බලමකට ගොඩ වී තම තමන්ගේ පුරාජේරු පුලු‍වන්කාරකම් ගැන විවාදයකට සූදානම්ව සිටී. ඒ ඩබලගේ මහා විවාදයක් හෙට අනිද්දාට රටටම බලා ගැනීමේ අවස්ථාව උදාවීමට නියමිතය.

පසුගිය දවස්වල සජබයේ ආර්ථික කමිටුවෙන් ජාබයේ ආර්ථික කමිටුවට, ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාදයකට අභියෝග කර තිබිණි. පරක්කු වී හෝ එයට ප්‍රතිචාර දක්වමින් ජාජබයේ යෝජනාව වූයේ, ආර්ථික කමිටු අතර නොවේ පුළුවන්නම් අනුර සමඟ සජිත්ට විවාදයකට එන ලෙසය. ඒ අභියෝගය භාර ගත් සජිත් ප්‍රේමදාස ද ඕනෑම අයකු හා ඕනෑම දෙයක් ගැන විවාදයට සූදානම් බව පවසා තිබිණි. එහෙත් මේ වන තෙක් අනුර කුමාර තමන් විවාදයට එන බව පවසා තිබෙනු දකින්නට තිබුණේ නැතත් ජාජබයේ යෝජනාව අනුව එය ඔහුට මඟ හැරිය නොහැක. කොහොම නමුත් මේ විවාදය සජීවීව රුපවාහිනි නාලිකා හරහා විකාශනය කිරීමද සිදු වෙනු ඇති බවත් වර්තා වී තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ක්‍රියාත්මක වන රටක මෙහෙම පක්ෂ අතර මතවාදී විවාද පැවැත්වී නම් සාධනීය කරුණකි. විශේෂයෙන්ම මේ සජබය හා ජාජබය අතර විවාදය වැදගත්ය. ඒ මන්ද යත් මේ පක්ෂ දෙකේම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යකූලභාවයක් ඇති බැවිනි.

සමාජවාදී ප්‍රතිපත්තියන සිටින ජවිපෙ සිය පක්ෂ සංවිධානය ජාතික ජන බලවේගය ලෙස නාමකරණය කරමින් එළියට දැම්මේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියකට සමාන ප්‍රකාශනයකි. තමන් දැන් සමාජවාදීන් නොවේ වෙළඳපොළ ආර්ථිකය පිළිගන්නා අලුත් කට්ටියක් බව එහි නායකයන් කීවේය. එහෙත් මේ නිකුත් කරනු ලැබු ජාජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ගේ වැරදි සහගත කරුණු, ජනතාව නොමඟ යවන කරුණු, ප්‍රායෝගික නොවන දෑ, විහිළු‍ සහගත දෑ, මුද්‍රණ දෝශ බහුලව තිබුණු බව චැතම් ස්ටී්‍රට් අප කළ අණාවරණයෙන් පසුව රටම එය දැන ගන්නා ලදී. අප එය මුල් වරට හෙළි කිරීමෙන් පසුව, ඒ ගැන විවාදාපන්න තත්වයක් සමාජය තුළ ඇති විය.

ජාජබයේ ඇතැම් නායකයන්ට, තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු වැරදි බව පිළිගන්නට සිදු විය. තවත් අයකු කීවේ එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් තම පක්ෂය නිකුත් කර නොමැති බවත් මේ ඉදිරිපත් කරන ලියවිල්ල කූට ලේඛනයක් බවත්ය. ඒ කියන්නේ ඒ ප්‍රතිපත්ති ලේඛණය ජාජබයේ සමහර නායකයන්වත් දැක නොතිබුණු බවය. තවත් අය එම වැරදි තොරතුරු නිවැරදි බව පෙන්වන්න දැඩි උත්සහයක්ද ගෙන තිබිණි.

ඒ අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සියල්ල කුණු කූඩයට දමා ජාජබය ක්‍රියාත්මක කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පැහැදිලිවම පවසා තිබිණි. මේ අනුව සත්‍ය ලෙසම ජාජබයේ ප්‍රතිපත්තිය නිශ්චිතවම කුමක්ද යන්න ගැන එහි නායක අනුර කුමාරගේ කටින්ම ප්‍රකාශ කරගැනීමට මේ යෝජිත විවාදය වැදගත් වෙනු ඇත.
එසේම සජබයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැනද තිබෙන්නේ මෙවැනිම තත්වයකි. සජබයේ හර්ෂ ද සිල්වා විසින් සැකසූ බ්ලු‍ ප්‍රින්ට් නමින් වූ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය සජබයේ ප්‍රතිපත්තිය බව සජිත් විසින්ම කාලයකට පෙර පිළිගෙන ප්‍රකාශකර තිබිණි. එහෙත් එය වත්මනෙහි ද ජනාධිපති රනිල් ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රතිපත්තියෙන් වෙනස් නැති බව පෙන්නුම් කළේය. ආණ්ඩුවයි සජබයයි එකම ප්‍රතිපත්තියක නම් ඉන්නේ ආණ්ඩු පෙරළා බලය ගැනීම ගැන තමන්ගේ පාක්ෂිකයන්ට කියන්න දේවල් නැති වන බව සජිත්ගේ කුඩා මොළයට වැටහී තිබිණි. ඒ අතර සජිත් ප්‍රේමදාස එය සජබයේ ප්‍රතිපත්තිය නොවන බවත් එය හර්ෂගේ ප්‍රතිපත්තිය බව හැඟවෙන ප්‍රකාශයන් කරන්නට විය. එසේම තැන් තැන්වල සජිත් පවත්වන දේසනාවලදී මේ ප්‍රතිපත්තියට පරස්පර යෝජනා නිරන්තරයෙන්ම කියවීම නිසා සජබයටත් නිශ්චිත ප්‍රතිපත්තියක් නැති බව පෙනිනි.

එමෙන්ම සජබයට එක්වී සජිත්ගේ ආර්ථික උපදේශකයා බවට පත්ව සිටින නාලක ගොඩහේවා වෙතින්ද මේ බ්ලු‍ ප්‍රින්ට එක බලු ටයිප් එකට දැමීමක් සිදු විය. ඔහු කිවේ ඔවුන් සජබයේ ප්‍රතිපත්තිය තීරණය කරන බවකි. එය සජිත් ප්‍රේමදාස විසින් පිළිගනු ඇති බවත්ය.

මේ නිසා යෝජිත විවාදය තුළදී සජිත්ට සජබයේ ප්‍රතිපත්තිය මෙය යැයි නිශ්චිතවම සහතික කර ඉදිරිපත් කිරීමක් කරන්නට සිදු වෙනු ඇත.

එහෙත් අපට පෙනෙන දේ නම් මේ දෙපක්ෂයමටම මේ වන තුරුත් පිළිගත හැකි නිශ්චිත ප්‍රතිපත්තියක් නැති බවය. එසේ නම් මොවුන් විසින් යෝජනා කරනු ලබන බොහෝ දෑ මේ වන විටත් රට තුළ ක්‍රියාත්මකව පවතින දේය. එසේම ජනාධිපති රනිල් සිදු කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළත් මේ විපක්ෂ කණ්ඩායම් දෙකම යෝජනා කරන දේ අඩංගුව ඇත. ඒවා රනිල් මේ අයගෙන් හොරකම් කරගත්ත දේ නොවේ. ඇත්තටම මේ දෙගොල්ලොම කරන්නේ රනිල්ගෙන් හොරකම් කරගෙන තමන්ගේ වගේ මේවා විකුණමින් සිටීමය.

රනිල්ගේ ප්‍රතිපත්ති යනු දැන් දශක 4කටවත් පෙර සිට වර්ධනය කරගනිමින්, යාවත් කාලීන කරගෙන එන අඛණ්ඩ භාවිතයකි. ඔහු හැමදාම කටයුතු කළේ එම ප්‍රතිපත්ති පදනම තුළ සිටය.
2003 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙල තුළද, 2015 යහපාලන යුගයේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණයන්වලද, 2022 රට භාර ගැනීමෙන් පසුව ක්‍රියාවට නඟමින් සිටින ප්‍රතිසංස්කරණයන්ගේද පදනම එකමය.

ඒ ප්‍රතිපත්ති කාලයෙන් කාලයට, අවස්ථාව අනුව, දේශපාලනික වුවමණාවන් අනුව, මැතිවරණ දිනාගන්න, බලය රඳවා ගන්න තමන්ගේ වාසියට වෙනස් කළේ නැත. තමන්ට ජන වරමක් ලැබුණත් නැතත්, පරාජයන් පෙනි පෙනී වුවත් ඔහු ප්‍රතිපත්තිය අත්හැරියේ නැත. හරි දේ කරලා පැරදුනත් කමක් නෑ කියන ස්ථාවරයේ ඔහු දෘඪව සිටියේය.

ඔහුගේ මේ ස්ථාවරය නොවන්න රට වැටී සිටි අර්බුදයෙන් ගොඩගැනීමත් සිදු නොවනු ඇත. අර්බුදය මොහොතේ සජබයත් ජාජබයත් යෝජනා කළ පන්නයේ, ඉල්ලීම් කළ පන්නයේ ජනප්‍රිය විසඳුම්වලට රනිලුත් ගියා නම් අද රට තිබෙන්නේ 2022 තිබුණු තැනෙනුත් පහළට කඩා වැටී ගොඩ ඒමක් ගැන සිතන්නවත් බැරි තැනකය.

එහෙත් ජනධිපති රනිල් තමන්ගේ දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් ජනප්‍රිය තේරීම්වලට නොයා වඩා නිවැරදිම තීන්දු ගැනීමට එඩිතර විය, දුෂ්කර ජනප්‍රිය නොවන තීන්දු ගත්තේ දේශපාලනික අවදානම නොතකාය. ප්‍රතිපත්ති ගරුක නායකයන් කියන්නේ එහෙම ශක්තිමත් නායකත්ව පෞර්ෂයක් ඇති අයටය. ඕනෑම අර්බුදයක් විසඳගෙන ජයග්‍රහණය කරා යා හැක්කේ එවැනි නායකයන්ටය.

සජිත්ලා අනුරලා හැමදාමත් කළේ අවස්ථාව අනුව, තමන්ගේ දේශපාලන වුවමණාවන් අනුව ප්‍රතිපත්ති කියන ඒවා හිතු මනාපේ වෙනස් කිරීමය. අඩුම තරමින් පක්ෂ නායකයන් තුළවත් ඒ ගැන එකඟතාවයක් හෝ දැනුමක් හෝ නැත. අද එම පක්ෂ දෙකෙහිම පාක්ෂික්යන්ගෙන් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මොකක්ද කියා ප්‍රශ්න කළ විට මුක පූට්‍ටු වන්නේ ද ඒ නිසාය. කොහොම නමුත් අප විසින් කාටත් කළින්ම මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ගැන අවුල පසුගිය කාලය පුරාම මතුකර පෙන්වීමේ වැදගත්කම මේ විවාද යෝජනාව නිසා යළි අවධාරණය කෙරී ඇත. ඒ ගැන අපට සතු‍ටු විය හැකිය.

එහෙත් අපගේ සතුට එයම නොවේ. ඊට වැඩිය සතුටක් මේ විවාදයේ දී භුක්ති විඳීමට මේ රටට අවස්ථාවක් ලැබෙනු ඇත. එය අපට වඩාත් සතුටු කාරණයයි.

මොකද සාමාන්‍යයෙන් විවාදයක් පැවැත්විය යුත්තේ තමන්ට ප්‍රතිපත්තිමය ස්ථාවරයක අභියෝගයක් කරන ඇත්ත ප්‍රතිවාදියා එක්කය. නමුත් මේ විවාදය වෙන්නේ එහෙම දෙපිරිසක් අතර නොවේ. අප්සෙට් ජොකියෝ දෙන්නෙක් අතරය. සමතුන් දෙන්නෙක් අතරය. තමන්ට කිය අනන්‍ය ප්‍රතිපත්තියක් නැති දෙදෙනෙක් අතරය. හුදු ජනප්‍රිය සහන මළු දේශපාලනයේ යෙදෙන දෙන්නෙක් අතරය. කයිවාරුකාරයන් දෙන්නෙක් අතරය. නන්දොඩවන්නන් දෙන්නෙකු අතරය. අර්බුදය හමුවේ රට භාර ගන්නැයි කළ ඉල්ලීම අහක දමා පැන ගොස් සැඟවුණු දෙන්නෙක් අතරය, ගාළු මුවදොර අරගල භූමියට ගොස් ගුටිකා පළා යන්නට වූ දෙන්නෙක් අතරය. කොටින්ම විහිළුකාරයන් දෙන්නෙක් අතරය. ඊටත් වඩා රනිල්ගේ ප්‍රතිපත්ති හොරකම් කරගෙන ඒවා තමන්ගේ ප්‍රතිපත්ති බව පෙන්වමින් සිටින දෙදෙනෙකු අතරය.

මේ නිසා මේ විවාදය එහි මතෘකාව අනුවම සිදු වුවහොත් රටටම විහිළු‍ සැපයීමක් හැර වෙනකක් වෙන්නේ නැත. දෙගොල්ලොම කරන බොරුව රැවටිල්ල හෙළිදරව්වීම වැලක්විය නොහැකි වෙනු ඇත.

ඒ අනුව මේ විවාදය මෙරට දේශපාලනයට වැදගත්ය. ඒ වඩාත්ම තව මාස කිහිපයක් ඇතුළත පැවැත්වෙන මැතිවරණවලදී මේ අය ජයග්‍රහණය කළ හොත් ඇත්තටම මේ පක්ෂ දෙකට රට හදන්න පුළු‍වන්ද? තවත් බංකොලොත් කරයිද? ජනතාව නැවත පෝලිම්වල තියයිද? කියන එක හෙළිදරව් වන නිසාය.

කොහොම වුනත් මේ දෙගොල්ලොම ජනාධිපති රනිල්ට හෝ ආණ්ඩුවේ කිසිවකුට හෝ ආර්ථික ප්‍රතිපත්ති විවාදයකට එන ලෙස අභියෝග කරන්නේ නැත. එහෙම කළ නොහැකිය. එවැනි විවාදයකට සජිත්ට හෝ අනුරට ඉදිරිපත් විය නොහැක. ඒ මන්ද යත් එය කොහෙවත් තියෙන කළු‍ ගලක ඔළු‍ව ගසා ගැනීමකට වඩා වෙන දෙයක් නොවන බව ඔවුන් දන්නා නිසාය.
අනෙක් වැදගත් කාරණය නම් අද ජනාධිපති රනිල් රට ගොඩනගමින් සිටින්නේ තමන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද සැලසුම මොකක්ද වැඩපිළිවෙල මොකක්ද ගත් ක්‍රියාමාර්ගය මොකක්ද ගන්න නියමිත ක්‍රියාමාර්ගයන් මොනවද ඒවායේ ප්‍රතිපලය මොකක්ද රටට ජනතාවට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද යන්න විවෘතවම කිසිවක් නොසඟවා ප්‍රකාශ කරමින්ය. එසේම පාර්ලිමේන්තුව හමුවේ මේ සියල්ල විවාදයන්ට ලක් කරමින්ය. නමුත් ඊට සජිත්ලාගෙන් අනුරලාගෙන් අභියෝගයක් එල්ල වී නැත. ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්තිය වැරදි බවත් විකල්ප යෝජනාව මෙය බවත් කියා විපක්ෂයේ කිසිවකුත් කිසිවක් ඉදිරිපත් කරද නැත. රනිල් හමුවේ කරබාගෙන සිටිනවාට වඩා දෙයක් මේ අවුරුදු දෙක තුන තුළදී සිදු වූයේ නැත.

ඒ නිසා මේ අය ජනාධිපතිට ප්‍රතිපත්ති විවාදයයකට එන්න යැයි වැරදිලාවත් මැතිවරණ වේදිකවක ගැලරි චූන් කරන්නවත් කියන්නෙ නැත. එයට ඉතා පරිස්සම් වෙයි. මේ අයට පුළුවන් වන්නේ රයිගමයයි ගම්පොලයයි ජාතියේ මෝඩ කපටිකම් කර රටට ලෝකයට විහිළුවක් වීම පමණය.

……….ඝෝෂක……..

Leave a Reply