spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

“පාවාදීම” යනු ඉතිහාසයේ අත්‍යවශ්‍යතාවයකි.

කාර්මික අතින් උපරිම දියුණු රටක (උදා: එංගලන්තය වැනි) නාගරික කම්කරුවන් අතින් විප්ලවය සිදුවනු ඇතැයි මාක්ස් සිතීය. නමුත් ප්‍රායෝගිකව පළමු විප්ලවය සිදුවූයේ පසුගාමී, ගොවි ජනතාවක් සිටි රුසියාවේය (ලෙනින් අතින්). පසුව එය චීනයට (මාඕ අතින්) ගියේය. මෙම විපර්යාසය න්‍යායික “වැරදීමක්” නොව, දෘෂ්ටිවාදයක පැවැත්ම වෙනුවෙන් සිදුවිය යුතුම වූවක් බව දැන් වන විට අපට පැහැදිලිව පෙන්වා දිය හැකිය.

ලෝක දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී, පොතේ පවතින සම්භාව්‍ය පිරිසිදු න්‍යාය ඉතිහාසයේ පවතින සන්දර්භයෙන් උදුරා ගෙන, වෙනත් දේශපාලන භූමියකට බද්ධ කිරීමේදී එහි හැඩය වෙනස් කිරීම න්‍යායේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. බටහිර කාර්මික රටවල නාගරික කම්කරු පන්තිය කේන්ද්‍ර කරගනිමින් මාක්ස් ගොඩනැඟූ දර්ශනය, රුසියාවේදී ලෙනින් විසින්ද, චීනයේදී මාඕ සේතුං විසින්ද තම තමන්ගේ පැවැත්මට ගැළපෙන සේ “පාවාදීමකට” හෝ “ප්‍රචණ්ඩකාරී වෙනස් කිරීමකට” ලක් කරන ලදී. ශ්‍රී ලාංකීය දේශපාලන සමාජය තුළ ජනතා විමුක්ති පෙරමුණ (JVP) බිහිකරමින් රෝහණ විජේවීර සිදු කළේද හරියටම මෙම දෘෂ්ටිවාදාත්මක විස්ථාපනයයි.

මෙහිදී අප වටහාගත යුතු වැදගත්ම කරුණක් ඇත. එනම්, මාක්ස්වාදය ලෝකය පුරා විවිධ රටවලදී අසාර්ථක වීමට හෝ එහි හැඩය වෙනස් වීමට හේතුව පසුව පැමිණි එංගල්ස්, ලෙනින්, ස්ටාලින් හෝ මාඕ වැනි පුද්ගලයන් විසින් කරන ලද වෙනස්කම් හෝ වැරදි නොවන බවයි. එම අඩුපාඩුව හෝ වැරදීමට ඇති ඉඩකඩ මාක්ස්වාදයේ ආරම්භයේදීම, එනම් එහි මුල් සිද්ධාන්තය තුළම ගැබ්ව තිබූවකි. මුල් ආකෘතිය තුළම පවතින මෙම අභ්‍යන්තර අවශ්‍යතාවය නිසාම, න්‍යාය ඉදිරියට යාමට නම් මෙවැනි වෙනස්වීම්වලට මුහුණ දීමට සිදුවේ.

මෙම සන්දර්භය තුළ න්‍යායික “පාවාදීම” යනු ඉතිහාසයේ අත්‍යවශ්‍යතාවයකි. ජේසුස් වහන්සේගේ මුල් ඉගැන්වීම්, පාවුල් විසින් වෙනස් මඟකට ගෙන ගොස් සමස්ත ලෝකය පුරා පතුරුවා හරිමින් ක්‍රිස්තියානි ධර්මය විශ්වීය ආගමක් බවට පත් කළා සේ, මාක්ස්ගේ මුල් න්‍යායයන් ලෙනින් විසින් රුසියාවට ගැළපෙන සේ වෙනස් කළේය. දෘෂ්ටිවාදයක් පොත්වලට පමණක් සීමා නොවී ලෝකය පුරා “විශ්වීය” වීමට නම්, එහි මුල් හැඩය වෙනස් කරමින් නව පරිසරයන්ට ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතුය. විජේවීර ලංකාවේදී කළේද එවැනිම දෘෂ්ටිවාදාත්මක අවශ්‍යතාවයක් ඉටු කිරීමකි.

තමන් අදහන දෘෂ්ටිවාදයක ඇති වැරදි, පිටතින් ආ “නරක” පුද්ගලයෙකු පිට පැටවීම (උදාහරණයක් ලෙස ‘මාක්ස් හොඳයි, ස්ටාලින් නරකයි’ නැතහොත් ‘මාක්ස් හොඳයි, විජේවීර නරකයි’ කීම) හරියට සමාජයේ හැම ප්‍රශ්නයකටම “යුදෙව්වන්” වැරදියි කියා කියන යුදෙව්-විරෝධී මානසිකත්වයට සමාන වේ. එවැනි මානසිකත්වයකින් බැහැරව වගකීම භාරගැනීම සැබෑ දේශපාලන ව්‍යාපාරයක ලක්ෂණයකි. සැබෑ මාක්ස්වාදියෙකු හෝ විප්ලවවාදියෙකු නම්, මාක්ස්වාදී ඉතිහාසය තුළ සිදු වූ දරුණු වැරදි (උදා: ඒකාධිපති පාලන ක්‍රම, සන්නද්ධ අරගලවලදී සිදු වූ විනාශයන් සහ සමහරක් තීන්දු තීරණ ) තමන්ගේම අතීතයේ කොටසක් ලෙස පිළිගෙන, ඒ ගැන ස්වයං-විවේචනයක් කරමින් වගකීම භාරගත යුතුය. ලංකාවේ මුල්කාලීන සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ බලා සිටියේ කොළඹ වරායේ හෝ දුම්රිය සේවයේ නාගරික කම්කරුවන් පෙරටු කරගෙන විප්ලවය සිදුවන තුරුය. නමුත් විජේවීර මෙම සම්ප්‍රදායික ආකෘතිය කඩා දැමීය. ලංකාව වැනි අර්ධ-වැඩවසම්, නොදියුණු, කෘෂිකාර්මික රටක න්‍යාය වෙනස් මඟකට හැරවිය යුතු බව ඔහු තේරුම් ගෙන, විප්ලවයේ කේන්ද්‍රය නගරයෙන් ගමට විස්ථාපනය කළේය.

මෙය චීනයේදී මාඕ සේතුං විසින් සිදු කරන ලද වෙනස්කම්වලට බෙහෙවින් සමානය. මාඕ විසින් මාක්ස්වාදය චීනයට ගැලපෙන සේ වෙනස් කිරීම (කම්කරුවන් වෙනුවට ගොවීන් යොදාගැනීම) මාක්ස්වාදයේ සරල අඛණ්ඩ පැවැත්මක් හෝ සරල “යෙදවීමක්” ලෙස ලෙහෙසියෙන් බැහැර කළ නොහැක. එය න්‍යායෙහි සිදු වූ විශාල බිඳවැටීමක්‌ ලෙස බාර ගත යුතු වගේම,මාඕ විසින් පන්ති අරගලය රටක් ඇතුළත පවතින සටනක සිට ලෝක මට්ටමේ සටනක් (පොහොසත් බටහිර රටවල් සහ දුප්පත් තුන්වන ලෝකයේ රටවල් අතර සටනක්) දක්වා රූපකමය වශයෙන් පුළුල් කළේය. බටහිර දාර්ශනිකයන් පවා “ආසියානු තර්ජනයක්” ලෙස නොසලකා හැර සිනාසුණු, තුන්වන ලෝකයේ මිලියන සංඛ්‍යාත දුප්පත්, නිර්නාමික ගොවි ජනතාව දේශපාලන බලවේගයක් බවට පත් කිරීමට මාඕ සමත් විය. එය මාඕ ලැබූ අතිමහත් ජයග්‍රහණයකි.

විජේවීර ලංකාවේදී කළේද මේ හා සමානම කාර්යයකි. ඔහු ලාංකීය සමාජයේ පතුලේම සිටි, පීඩිත, පර්යන්තයේ සිටි ගැමි තරුණ පරපුර සහ ගොවි බිම්වල දරුවන් දේශපාලනිකව බලමුලු ගැන්වීය. සාම්ප්‍රදායික මාක්ස්වාදී නියමයන්ට අනුව ඔවුන් පිරිසිදු න්‍යායික කම්කරුවන් නොවේ. නමුත් ලංකාවේ සැබෑ පීඩිත සාරය නියෝජනය කළේ නගරයේ කම්කරුවා නොව, ගමේ අසරණ වූ රැකියා විරහිත පිඩිත තරුණයා බව විජේවීර හඳුනා ගත්තේය. විජේවීරගේ “පන්ති පහේ දේශනය” යනු මාක්ස්වාදය ලාංකීය භූමියට ගැළපෙන සේ කළ ප්‍රතිනිර්මාණයයි. එහි එන “ඉන්දීය ව්‍යාප්තවාදය” වැනි මාතෘකා සම්භාව්‍ය මාක්ස්වාදී පොත්වල තිබූ ඒවා නොවේ. නමුත් ලාංකීය පොළොවේ පැවැත්ම, ජාතික අනන්‍යතාවය සහ භූ-දේශපාලනික තත්ත්වයන් සමඟ මාක්ස්වාදය බද්ධ කිරීමට නම් එවැනි ප්‍රචණ්ඩකාරී කපා හැරීම් සහ අලුතින් එකතු කිරීම් අවශ්‍ය විය.

සමහර සම්ප්‍රදායික මාක්ස්වාදීන් විජේවීරගේ මෙම හැරවුම න්‍යායිකව “අසම්පූර්ණ” හෝ මාක්ස්ගේ ප්‍රමිතීන්ට පිටින් ගිය “සුළු ධනේශ්වර අපගමනයක් ” ලෙස අදටත් හෙළා දකිති. ඔවුහු වැරැද්ද විජේවීර පිට පටවා, මුල් න්‍යාය නිර්දෝෂී බව කීමට උත්සාහ කරති. එහෙත්, න්‍යායක් පොත්වලින් එළියට ගෙන, පණ ඇති මිනිසුන් අතර විශ්වීය බලවේගයක් බවට පත් කිරීමට නම්, එහි මුල් හැඩය බිඳ දමා නව පරිසරයකට ගැළපෙන සේ ප්‍රතිනිර්මාණය කළ යුතුය. රෝහණ විජේවීර ලංකාවේදී කළේ එම ඓතිහාසික කාර්යයයි. ඔහු මාක්ස්වාදය ලාංකීය ගැමි සමාජයේ පීඩිතයන්ගේ භාෂාවට පරිවර්තනය කරමින්, මුල් ආකෘතිය “පාවා දෙමින්” සැබෑ ප්‍රායෝගික දේශපාලන ව්‍යාපාරයක් උපද්දවනු ලැබීය.

එම ව්‍යාපාරය ලංකාවේ වාම දේශපාලන ඉතිහාසය මෙන්ම සමස්ත දේශපාලන සංස්කෘතිය ද රැඩිකල් වෙනසකට ලක් කළ ප්‍රධානතම සාධකය වුවද, එය හුදු සංවිධානාත්මක දේශපාලන පක්ෂයක සීමාවන් ඉක්මවා ගිය, ලාංකීය දේශපාලන අවිඥානය තුළ ගැඹුරින් කිඳා බැස ඇති සංකීර්ණ දෘෂ්ටිවාදී ව්‍යුහයකි. මෙම ව්‍යුහය සහ එහි පවතින “වැලලී තිබෙන අවකාශය” නිවැරදිව වටහා ගැනීම සඳහා අප ජනතා විමුක්ති පෙරමුණ නමැති සංකේතය, එහි ආරම්භක නියමුවා වූ රෝහණ විජේවීරයන්ගේ දේශපාලනික සහ සංස්කෘතික භූමිකාව සමඟ වෙන්කළ නොහැකි ලෙස බද්ධ කරමින් “ජනතා විජේවීර පෙරමුණ” ලෙස නැවත කියවීමකට ලක් කළ යුතුය. එහිදී රෝහණ විජේවීර යනු හුදු පුද්ගලයෙකු නොව, ලාංකීය ඉතිහාසයේ එක්තරා නිමේෂයක ප්‍රකාශනයක් වන අතර ඔහු මාක්ස් නමැති විද්‍යාවක් ලාංකීය පොලවට විකුර්තියක් කරගනිමින්, එහි එකම අභියෝගය ලෙස ප්‍රාග්ධනය හඳුනාගත් කෙනෙකි . මෙම දෘෂ්ටිවාදය යටින් ක්‍රියාත්මක වන ප්‍රධාන භෞතික ගතිකය වන්නේ ගෝලීය සහ දේශීය ධනේශ්වර ක්‍රියාවලිය විසින් මෙරට පීඩිත පන්තිය මත පටවන ලද ආර්ථික සහ සමාජයීය පීඩනය වන අතර, එමඟින් නිර්මාණය වන වැලලී ඇති අවකාශය අපට “ප්‍රාග්ධන විරෝධී නිරපේක්ෂ දෘෂ්ටිවාදී අවකාශය” ලෙස නාමකරණය කළ හැකිය. සාම්ප්‍රදායික වාමාංශය ප්‍රභූ පාර්ලිමේන්තු දේශපාලනය තුළ දියවී යද්දී, ප්‍රාග්ධනයේ මර්දනයට එරෙහිව සෘජු භෞතික අරගලයක් බිහිවීමට පදනම වැටුණේ ද මෙම අවකාශය තුළිනි.

මෙම මතවාදයේ බිම් මට්ටමේ භෞතික ගතිකය තවදුරටත් වටහා ගැනීමට නම්, විජේවීර විසින් ලංකාවේ දේශපාලන සංස්කෘතියට අලුතින් හඳුන්වා දුන්, සාමාන්‍ය ජනයාගෙන් යුත් ලාංකීය පවුල් ඒකක දේශපාලන ව්‍යාපාරයක භාවිතාව සඳහා යොදාගැනීමේ භූමිකාව දෙස බැලිය යුතුය. කොළඹ කේන්ද්‍රීය සාම්ප්‍රදායික වාමාංශය සංවිධානාත්මක කම්කරු සමිති මත පදනම් වෙද්දී, විජේවීර විසින් දේශපාලන ක්‍රියාකාරීත්වය රැගෙන ගියේ ගම්බද සාමාන්‍ය පවුල් ව්‍යුහය තුළට වන අතර ඔහු ගැමි තාරුණ්‍යයේ, මව්පියන්ගේ සහ පවුල්වල දෛනික ජීවිතය, දුක්ගැනවිලි සහ සංස්කෘතික අනන්‍යතාවය දේශපාලන මෙවලමක් බවට පරිවර්තනය කළේය. එබැවින්, මෙම වැලලී ඇති අවකාශයේ තවත් වැදගත් මානයක් “පීඩිත පන්ති පවුල් ව්‍යුහයේ සහ සාමාන්‍ය ජන විඥානයේ භෞතික අවකාශය” ලෙස හැඳින්විය හැකි අතර, පක්ෂය වෙනුවෙන් ජීවිතය පවා පරිත්‍යාග කිරීමට සූදානම් කැපවීම් සහගත සාමාජික පදනමක් නිර්මාණය වූයේ පවුල් සංදර්භය තුළින් මතු වූ මෙම භෞතික බලවේගය හේතුවෙනි.

මෙම සමස්ත ක්‍රියාවලිය වඩාත් අර්ථවත් වන්නේ ලාංකීය සිතීමේ පොළොවට න්‍යාය භාවිතයට නැංවීම යන දේශපාලන චින්තන, භාවිත සහ භාෂා නිමේෂයන් එකතු කිරීමේ විජේවීරවාදී පුරෝගාමී ක්ෂේත්‍රය හේතුවෙන් වන අතර,එය හුදු සිද්ධාන්ත කටපාඩම් කිරීම නොව, න්‍යාය සහ ප්‍රායෝගික භාවිතය එකිනෙක බද්ධ කිරීමයි. බටහිර මාක්ස්වාදී සංකල්ප ලාංකීය ගැමි සිතීමේ රටාවට ගැළපෙන පරිදි පරිවර්තනය කරමින් “පන්ති පහ”, “සහෝදරයා” යන ආමන්ත්‍රණය සහ සන්නද්ධ අරගලයේ භාෂාව හරහා ලාංකීය සමාජයට අලුත් දේශපාලන ශබ්දකෝෂයක් හඳුන්වා දීමේ ගතිකය තුළින් “ලාංකීය විප්ලවිය මොහොත සහ දෘෂ්ටිවාදී භාෂාමය අවකාශය” නිර්මාණය විය. අවසාන වශයෙන්, ධනේශ්වර ප්‍රාග්ධනයේ පීඩනය, සාමාන්‍ය පවුල් පසුබිම්වලින් ආ පිඩිත තාරුණ්‍යයේ ශ්‍රම සහ ජීවිත පරිත්‍යාගය, සහ ලාංකීය පොළොවට බද්ධ කළ න්‍යාය භාවිතයට නැංවීමේ භාෂාව යන භෞතික ගතිකයන් සියල්ල එක්ව ගොඩනැඟූ මෙම වැලලී ඇති අවකාශය, පොදුවේ “විජේවීරවාදී දේශපාලන අවිඥානයේ අවකාශය” ලෙස නාමකරණය කළ හැකිය. රෝහණ විජේවීර භෞතිකව සමුගෙන දශක කිහිපයක් ගත වුවද, ලාංකීය සමාජයේ පීඩිත පන්ති විඥානය තුළ මෙම අවකාශය තවමත් නොනැසී පවතින්නේ සහ විවිධ මුහුණුවරින් වරින් වර මතු වන්නේ (npp ආණ්ඩුව )මෙම දෘෂ්ටිවාදී සහ භෞතික බලවේගයන්ගේ නොබිඳිය හැකි බද්ධ වීම නිසාය.

(ජූලි 14 වැනි දිනට යෙදී තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර උපන්දිනය වෙනුවෙනි)

Popular Articles